Wednesday, December 21, 2011

පිස්සු රයිස් ( Rice ) සහ පිස්සු ඉස්සෝ...

Share


ඔබා මාමගේ ඉස්සො ප්ලේට් එක දැක්ක දවසෙ ඉදන් ඉස්සො හදන්න මාර උණක් තිබ්බෙ... වෙලාවක් හම්බුනේ ඉතින් පහුගිය දවසක තමා.. ඔබා මාමගේ රෙසිපියේ වැඩි දියුණු කරපු වර්ශන් එකක් හදන්න ඕනි කියල හිතුනේ ඔබා මාම මගේ කැමතිම තක්කාලි උන්දැගෙ රෙසිපියට දාල නැති නිසා.


ඉතින් පරිස්සම් පාරේ ( Safeway ) එකට ගිහිල්ල පොඩි ශොපිං පාරකුත් දාල අඩුම කුඩුම ටිකත් අරන් ආවා ඉස්සො හදන්න..


තම්බපු ඉස්සො...
ලූණු..
සුදු ලූණු..
රතු සහ කොළ පාට කැප්සිකම්..
මාළු මිරිස්..
අමු මිරිස්..
තක්කාලි..


අඩුවැඩිය ටික හීනියට හීනියට කපල බලද්දි ඉස්සො 250 g වගෙ දෙගුණයටත් වඩා අඩු වැඩිය. ලූණු කන්නය... මදි පාඩුවට ගෙදර තිබුන සොසේජස් කරල් ටිකකුත් කපල ගත්ත... ඔය තියෙන්නේ...


දැන් කුකිං ටයිම් එක.. මොකුත් නෑ... ඔය උඩ තියෙන එව්ව ඔක්කොම කෑලි කෑලි කැපුවා... තාච්චියක් ලිපේ තියල තෙල් සුට්ටක් දාල රත් වෙද්දි අබ ටිකක් දැම්ම... චට චට ගාල පුපුරද්දි සුදු ලූණු ටික හැලුවා... ඊට පස්සෙ ලූණු.. තක්කලි... කැප්සිකම්.. මාළු මිරිස්.. ඔය ටික දැම්මා... ඊට පස්සෙ ඉස්සො ටිකයි... සොසේජසුයි... අහ්.. තක්කලි සෝස් සහ සෝය සෝස් සුට්ට සුට්ටත් හැලුවා...


හරි... අහ් සැර කෝ.. කෑලි මිරිස්... ගම්මිරිස් කුඩු... ලුණු ටිකකුත් දැම්ම.. ඔය තියෙන්නේ...


ටිකක් වෙලා තියල බාල ගත්තම හප්පෙ සුවඳ.. මොකුත් නෑ.. ලංකාවෙ චීන රෙස්ටුරන්ට් එකක් සිහියට එනවා.. ඒ එක්කම.. සීත කල බීර බෝතලයක්.. කොහෙද.. ඕක කිව්වම කෙල්ල පැට්ට බර බරේ නිසා ඒ ආසවට තිත තියල මූනු පොතේ දාන්න පින්තූර කෑල්ලකුත් අරන් වැඩේ අහවර කලා. ( පින්තූරෙ පේන්නෙ නම් සොසේජස් විතරයි... ඉස්සො ටික තාච්චියේද මන්දා... )


ඒ උනාට හිතට මදි.. ඇයි අපිට බැරිද එක්පෙරිමන්ට් කරන්න... ඊට පස්සෙ ආව අදහසක්... ඒක ඊලඟ දවසෙ ක්‍රියාත්මක උනා.




ලූණු..
සුදු ලූණු..
තක්කලි..
අමු මිරිස්..
මාළු මිරිස්..
රතු සහ කොළ පාට කැප්සිකම්..


කෑලි වලට කපල ගත්තා...




කැරට් ගෙඩියකුයි... බ්‍රොකලි කෑල්ලකුයි තම්බල කෑලි වලට කපා ගත්තා... ( බ්‍රොකලි නම් කුඩු වුනා )..



තම්බපු ඉස්සො..
සොසේජස්..
හතු...


ඔය ටිකත් ගත්ත කෑලි කෑලි වලට කපල...


පොඩ්ඩක් ගැඹුරු තාච්චියක් වගේ අයිටම් එකක් අරන් තෙල් සුට්ටක් දාල රත් වෙද්දි ඔය උඩ ලිස්ට් එකේ එව්ව එක එක පිළිවෙලට දැම්ම... දාල පොඩ්ඩක් කලවම් කරන ගමන් කෑලි මිරිස්... ගම්මිරිස්... ලුණු... කහ.. තුනපහ... සුට්ට සුට්ට ත් හැලුවා... ඊලඟට සෝස්.. තක්කලි.. සෝයා.. ෆිශ්.. සුදු ලූණු... තිබ්බ සෝස් ජාති ඔක්කොමත් දැම්මා... චීස් පෙති 2 ක් තිබිල ඒ දෙකත් දැම්මා... අච්චාරුව වගේ දැන්...



ඊට පස්සෙ බත් ටිකක් අරන් ඒ ටිකත් කලවම් කලා.. හරි ඔය තියෙන්නේ... ම්ම්ම් තව මොනවද.. හරිනෙ.. ගත්ත බිත්තරේකුත්.. දැම්ම... ඔය ඔක්කොම දාල තව ටිකක් ලිපේ කවලම් කර කර ඉදල ගින්දර නිව්ව...


චිලි පේස්ට් ටිකකුත් එක්ක කන්න ගත්ත... හප්පෙ.. සිරාවටම රසයි.


හැබයි ඉද හිට මිසක් මෙහෙම කෑවොත් හැදෙන ලෙඩ හොයා ගන්නවත් බැරි වෙයි.. තෙලුයි.. සෝසුයි.. හපොයි.

Friday, December 16, 2011

වෙරි මරගාතේ ලර්නස් ගිහින් තියෙද ??

Share
 
ඒ ලෙවල් ඉවර උනාට පස්සෙ කොල්ලො නා නා ප්‍රකාර දේවල් කරනවනේ... බහුතරයක් දෙවැනි පාර කරන්න රිවිශන් යනවා... ඒ අස්සෙ ඉන්ග්‍රීසි ක්ලාස්... ජපන් ක්ලාස්... කරාටේ ක්ලාස්... තව නා නා ප්‍රකාර ක්ලාස්.. ඔය අස්සෙ ලර්නසුත් යනවා.. මොටෝ බයික්කයක් එහෙම පදින්න පුළුවන් උනාට පොලෝසියට මාට්ටු වෙයි කියල පරාන බයේ නෙව පදින්නේ... ඉතින් ලයිසන් ගත්තම කිසි ගින්නක් නෑ... පෙළහර පාන්න ගන්නෙ නිකන් කුඩ්ඩට ඇමතිකම් හම්බුනා වගේ...

ඉතින් අපේ මේ චරිතයට අපි කියමුකො කසුන් කියල... මූත් යන්න ගත්ත ලර්නර්ස්.



*****

ඒ දවස් වල යාළු වෙල හිටිය කෙල්ල මුන ගැහෙන්නත් එක්ක මම ස්ටෑන්ඩ් එකේ කොට තාප්පෙකට හේත්තුවක් දාගෙන පොතකුත් රෝල් කරන් ඉන්නවා.

" කොහෙද බන් ක්ලාස්ද ? " ගාගෙන එකෙක් සෙට් වෙනවා... තව ටිකකින් තව එකෙක්.. උන් අදුරන තව එකෙක්.. ඔහොම තමයි කට්ටිය සෙට් වෙන්නෙ... ඔහොම සෙට් වෙන එව්වො ස්ටෑන්ඩ් එකේ තාප්ප පිරෙන්න... ඉතින් ඔන්න කොනකින් මතු උනා චරිතෙත්.. කසුන්.. හිනාවකුත් දාගෙන ඇවිත්..

" අහ් හු**** වලක්ද ? "

හප්පේ සුවඳ... බාර් එකක් ගිලල වගේ... ඊට වඩා මට මළ මූ මටත් හොරා කා එක්ක සෙට් වෙලාද කියල...

" අපෝ.. මොනාද යකෝ බිව්වෙ.. ගඳ.. කියහන් කා එක්කද සෙට් උනේ.. කියන්නවත් එපා.. "

මට ඇති උන තරහව ප්‍රශ්න සෙට් එකකින් ම අතෑරියා..

" උබ දන්නෙ නෑ බන්.. අපේ ගමේ සෙට් එකක්.. "

" ඉතින් තෝ මේ වෙරි මර ගාතෙ ගාලු ආවෙ.. උබේ කෑල්ලත් එන වෙලාව නේ මේ.. "

ඒ දවස් වල මූ කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියා... යාළු වෙලා කිව්වට ඒක නිකන් අතර මැදි තත්වයේ


" මම බන් මේ ලර්නස් ගියා.. දැන් මේ කෑල්ල බලන්න ආවෙ.. "  තාප්පෙ අල්ලගෙන දෙපැත්තට වැනි වැනි කියපි...

මගෙයි.. ලඟ සෙට් වෙලා හිටි උන්ගෙයි ඇස් නලලේ...

" මොකා.. ?? ?? තෝ ලර්නස් ගියා ?? බීල ?? "

" එවෙලෙ වෙරි නෑ බන්.. මේ හු**** තැපෑලෙ බන් වැදුනේ... "

කට්ටියම මූනට මූන බලාගෙන...

" ඒ ඒ වරෙන් පොඩ්ඩක්...  "

මූ මාවත් ඇදගෙන එක පාර ගාල කඩාගෙන වගේ දුවන්න ගත්තා... ස්ටෑන්ඩ් එක ඉස්සරහ කහ ඉරෙන් පාර පැනල පිට්ටනිය අයින් දිගේ කොටු තාප්පෙ පැත්තට විදිනවා දැන්...

" මොන හුන්නස්ගිරියක්ද බන්.. කෙල්ලත් එන වෙලාව.. මිස් වුනොත් කාපු කට්ටත් වැඩක් නෑ.. මොන මළ දානෙකද බන් යන්නේ.. " මටත් අම්බානෙකට චුට්ටක් අඩුවෙන් තද උනා..

ඒ අමිහිරි මොහොත...

" ඕක්.. ඕක්... " දෙනෝ දාහක් ගැවසෙන ටව්න් එකේ... පිට්ටනිය අයිනෙ තියෙන පේමන්ට් එක උඩ දාර කබරයෙක්...



ලැජ්ජ බය උපරිමේට තියෙන කාලේ මට උන් හිටි තැන් අමතකයි... වටේ පිටේ පොරවල් ඈත් වෙලා සිග් සැග් සීස්ටම් එකට ඇවිදිනවා අපිව මග ඇරලා... මූට වගක් නෑ.. දන හිස් දෙකට අත් දෙකත් තියාගෙන දෙකට නැවිලා වැනෙනවා...

මීට හොඳා මූ මගේ කලිසම ලිහුවනම් අර ස්ටෑන්ඩ් එක මැද්දෙ කියල හිතුන මට...

" මෙහෙ වරෙන් හු**** " කියල මම ඌවත් ඇදගෙන කොටුව දිහාට යන්න ට්‍රයි එක.. මිනිස්සුත් අඩු නිසා ඒ පැත්තෙ.. කොහෙද..

" ඒ පොඩ්ඩක් ඉන්න දියන්.. "

යකෝ මූට හොටු කැවිලද.. බිව්වත් ටව්න් එකේ කබරය දාන්න... ඒ මදිවට තව සනීප ගන්නත්...

දන්න කියන කුණුහරුප ඔක්කොම ටික මගේ කටින් පිට වෙනවා.. පාරෙ යන උන් මැජික් වගේ බල බල යනවා... මට නිකන් නිරුවස්තර වෙලා වගේ..

" හරි දැන් හරි.. යමන්.. මම කෙල්ලත් එක්ක ගෙදර යනවා... දැන් හරි.. යමන්.. "

" උබ ? කෙල්ල එක්ක.. ?? එහෙනම් ඒකි ගැන අදහස අත් ඇරගන්.. බූරුවො යමන් ගෙදර ඒකි එන්න කලින්.. "

ස්ටෑන්ඩ් එකට ඇවිල්ල මූවත් බස් එහෙකට නග්ග ගත්තා.. ඌ බොන්නයි.. මම පෙරුම් පුරන් බලන් හිටිය දවසෙ කෙල්ල මිස් වෙන්නයි..  ඒ මදිවට පොල්ල තිබ්බට ඊලඟ දවසෙ කුරු කුරුව අහන්නයි... සුරාවෙ අගය මට මැවිල පේන ගනන්...

බස් එක සීට් ගානට පිරිලා.. ක්ලාස් ඇරිල නැති නිසා ලොකු සෙනඟක් නෑ.. බස් එක ස්ටෑන්ඩ් එක වටේ රවුම දාල ගාලු පාරට සෙට් වෙද්දිම..

" ඒ මචන් වමනෙට වගේ "

දෙවියනේ... අර බස් එක ඇතු ලෙ දැම්මොත් මට ගෙවලුත් මාරු කරන්න වෙන සීන් එකක්.. මම ඌව ඇදන් බස් එකෙන් බැස්ස නෙමෙයි පැන්න.. කෝ මූ.. ඌ යනව කෙළ මෝලෙන් කුණු ඇළ දිහාට.. කොහෙද එච්චර හරියක්...  අයිනෙ පාක් කරල තිබ්බ බස් එකක් අල්ලගෙන දෙවැනි පාර

" ඕක්.. ඕක්... "


යාළුව වෙනුවෙන් උනත් මට නම් බෑ.. මම හිටි තැනම නැවතුනා.. ගාල්ලෙ ඒ දවස් වල ඔහොම චාටරයක් කනව කියන්නේ හොඳි නැතුව අවුරුද්දක් බත් කනවට එහා...

ටිකක් බලන් ඉදල ඉවරයි වගේ පෙනුන නිසා..

" හරිද.. ඉවරද.. ? "

" හරි හරි අවුලක් නෑ.. මේ කෙල්ල බලන්න බෑ බන්.. දැන් යමන්.. " කියපි..

මදන ඇතුන් නැවත්තුවත් බමන එව්වො කොහේ නවත්තන්නද... බස් කට කපල සෙනග ඒ වෙද්දි.. යාළු වෙල හිටි කෙල්ල කොහේද මන්දා.. මූව දාල යන්නය.. ඌවත් ඇදගෙන නැගපි බස් එකක ෆුට් බෝඩ් එකට..
හුලං පාර වැදි වැදි යද්දි වෙරි නැග්ගද බැස්සද මන්දා ඌට... ඌව හෝල්ට් එකෙන් බස්සල මම ගෙදර ගියා ඒ බස් එකේම.



පස්සෙන්ද මායි ගයානුයි ක්ලාස් එකකුත් කට් කරල දාර වලක් බහිද්දි මෙන්න මූ එනවා ගලේ රීපු එකා වගේ... ඒ වෙද්දිත් ඒ අමිහිරි දිනය ගැන මම ගයාන්ට කිය කිය හිටියේ..

" ගොන් බි*** " කියල පටන් ගෙන සුමදුර වදන් මාලවකින් ඌව අමතපු මම අන්තිමට

" ඉතින් මොකක්ද බන් උනේ එදා.. උබ සිරාවට ලර්නස් ගියාද ? "

" හ්ම්ම් "

" මොකක්ද යකෝ.. කියපන්... ඉතින් උන්ට මීටර් නෑ.. උබ වාහනේ එලෙව්වද බීල ?? "

" ඔව් බන් එවෙලෙ අවුලක් තිබ්බෙ නෑ වැඩිය.. උන්ට දැනුනෙත් නෑ... ඒ වුනාට ඌ කිව්වෙ බන් මම් කිසිම හැඟීමක් නැතුවෙයි එලවන්නෙ කියල...  "

" හක් හක් හක්... උබට යකෝ මොන හැඟීම්ද... ගොන් බි*** තෝ මාවත් නෝන්ඩි කලානෙ ඊයෙ... ශික්.. "

ටිකකට පස්සෙ මූ කියපි..

" උබලට කියන්න බන්... මට ලර්නස් යන්න කලිනුත් කබරයෙක් සෙට් උනා.. නේවි කෑම්ප් එක ඉස්සරහ බස් එකෙන් බැහල ශේප් එකේ දාල ගියේ.. "

මමයි ගයානුයි මූනට මූන බලා ගත්තා...

ප. ලි : ඌ ලයිසන් ගත්තා විතරක් නෙමෙයි ඌ පස්සෙ බර වාහන ලයිසනුත් ගත්තා.. දැන් නම් මතට තිත කියල කියනවා... ඇත්තද මන්ද. කාලෙකින් සෙට් උනේ නෑ.

ප . ලි 2 : ඌ බ්ලොග් බලන්නෙ නෑ කියල උපකල්පනය කරනවා.. ඌ බලනවනම්.. සොරිම තමා.. ඒ මචන්.. සොරි හොඳේ.. නම වෙනස් නේ... ගානක් නෑනේ හික් හික්.

Friday, December 9, 2011

" දුවපන් යකෝ " ප්‍රින්සිපල් එක්ක රේස් එකක්...

Share


මේක ඇවිල්ල ස්කෝලෙ කාලෙ කතාවක්. කාලෙකින් ලියන්න උනෙත් නෑනෙ ස්කෝලෙ කාලෙ සීන්. හුඟක්ම අවුල මට මතක නැති එක. ස්කෝලෙ කාලේ යාළුවෙක් එක්ක පරණ වල්පල් කතා කර කර ඉද්දි තමයි සීන් මතක් වෙන්නෙ...


ඒ ලෙවල් කරන්න ගත්තු අලුතම වගෙ අපේ ගයාන් සෙට් වෙල හිටිය ගෑණු ළමයෙක් එක්ක අපේ වයසෙම. ගෑණු දැරිවි අර කොළ පාට ටයි එකක් දාන ස්කෝලෙ. ගාල්ලෙ අය නම් දන්නවනේ ස්කෝලෙ... මේ කෙල්ල කොහේ ගියත් අම්ම ඒකිගෙ පස්සෙන්. ඉතින් මූ ඒ දෙන්නගෙ පස්සෙන්. රෑට ගෙදර ෆෝන් බිල ඉලක්කම් පහේ ගානක් වෙනකල් මල් කඩමින් ටෙලිකොම් එක පොහොසත් කරනව. මාසෙ අන්තිමට බිල ආවම උන්ගෙ අයිය කුණු වෙන්න තාත්තගෙන් බැනුම් අහනව.. ඔක්කොම කුණු ඌට යන්නෙ.. 

පස්සෙන් යාමයි... ටෙලිෆෝන් එකෙන් මල් කැඩීමයි තමයි ඉතින් ලව් එක. එහෙමත්ම දවසක තම අම්ම නැත්තෙ.. එදාට ඉතින් අවුරුදු... ඒ කියන්නේ වචනයක් දෙකක් හම්බුවෙලා කතා කරන එක. හික් හික්...


උගේ ලව් එක ගැන ලඟදි මතක් කල වෙලෙත් බැන්නෙ


" බලහන් අතකින් වත් අල්ලල නෑ බන් ඒ උනාට ඒකෙන් උනු කෙලිය කියල.. "  ඒක මේ අහිංසක කතාවක්...මෙතනට අදාල නෑ.

කොහොමින් හරි කෙල්ල ගෙ පදිංචිය ගාල්ලෙ දං ගෙදර. ඔය කාලෙම මහින්දෙට යන දං ගෙදර එක්තරා ජාතියක කොල්ලෙකුත් ඔය කෙල්ලට ලයින් එක දානව. අපේ එකාගෙ සීන් එක ඉව වැටිල ඌ මූව කීප වතාවක් හොයලත් තිබ්බ.


නාහෙට අහන් නැති සෙට් එකක් හිටිය දං ගෙදර පැත්තෙ එකෙක් එක්ක කොක්කක් දාගන්න දෙපාරක් නෙමෙයි 4 - 5 පාරක් වත් හිතනව ඒ දවස් වල. ඔය තත්වෙ අනුව මහින්දෙ පැත්තට හරි දං ගෙදර පැත්තට යනව හරි කියන්නේ අර යුද්ද කාලේ කිලිනොච්චි යනව වගේ සීන් එකක්. කොයි වෙලේ බීපු කිරි මතක් වෙන්න කෑමක් ද ශුවර් නෑ.


ඉතින් සති ගානකින් හම්බු වෙලා කතා කරන්න නොවිච්චි දුකින් ඉද්දි මූට ආරංචියක් ආව දවසක ඔන්න " අද අම්ම නෑ කියල.. " ආදරය වෙනුවෙන් නේ ගුටි කෑවත් කියල ඌයි මායි ස්කෝලෙ ඇරෙද්දිම කොළ ටයි ස්කෝලෙ ගාවින් බැහල ඉන්නව දැන් කෙල්ල එනකල්.


කෙල්ලත් එනව වැනි වැනි යාළුවෙකුත් එක්ක.. දන්නවනේ ඒ කාලේ පාරක තොටකදි කතා කරන් නෑ... අමුතු හැදියාවක් තිබ්බනේ. ඉතින් කෙල්ලො දෙන්න යනව අපිත් යනව උන් දෙන්නගෙ පස්සෙන්. විමංස එක පහු කරල කන්ද නැගගෙන මහින්දෙ පැත්තට යනකොට අපි දෙන්නම පොඩ්ඩක් විතර නෙමෙයි සෑහෙන ගැහි ගැහි ගියේ මොකද ඉතින් අර වසවර්තිය මාට්ටු උනොත් අනිවා කෑමක් නිසා.. ඒ කාලේ ඉතින් වලියක් වැටෙන්නෙ 99% චීත්තයක් නිසා නේ..

ඔන්න ඉතින් පස්සෙන් සක්මන් කරල මහින්දෙත් පහු කරල මහින්දෙ අයිනෙන් දංගෙදර පැත්තට යන්න තියෙන පටු කඳු පාරටත් ආව. මහින්දෙ අයිනෙන් තිබ්බ ඒ පාරේ ආරම්භය කන්දක්... කන්ද මුදුනෙ වංගුවක්... ඊට පස්සෙ පල්ලම.... ඉතින් කොයි පැත්තෙන් ආවත් කන්ද මුදුනට එනකල් මුදුනෙ ඉන්න කෙනෙක් පේන් නෑ. එක පැත්තකින් මහින්දෙ.. අනික් පැත්තත් කවර් වෙලා පොඩි ගස් වලින්. නියම ප්ලේස් එක... හැංගි මුත්තං කරන්න නම්.... ඒ පාර දැන් වහල දාල කියල කව්ද එකෙක් කිව්වා... ඇත්තද මන්දා...

යාළුවගේ ආදරය වෙනුවෙන් මම එක පැත්තකින් ඔත්තු බලද්දි අනික් කෙල්ල අනික් පැත්තෙන් ඔත්තු බලනව. මුන් දෙන්න කන්ද මුදුනෙ වංගුවට මුවා වෙල පෙම් පිලිසඳරෙ.


අව්ලකුත් නෑ... කවුරුවත් එන්නෙත් නෑ... පාර දෙපැත්තෙන්ම ක්ලියර්..


එක පාරටම මහින්දෙ ස්කෝලෙ පැත්තෙ ලඳු කැලෑව අස්සෙන් සර සර ගාගෙන සුදු කිට් එකක් ගහපු බුවෙක් පාත් උනා. ස්කෝලෙ කොල්ලෙක් කියල හිතුවට ඒ සිතුවිල්ල මොහොතයි... නෑ පොර ටයි එකකුත් දාල.


චායවක් පෙනෙද්දිම ගාල කඩාගත් පෙම්වතිය සිරි බිරි ගාල යාලුවත් ඇදන් කන්දෙන් භාගයක් බැහලත් ඉවරයි.. ගයානයත් හිමින් මගේ දිහාට එනව...


" ඔහොම නවතිනව " ගොරෝසු කටහඬකින් විධානයක්..


" මේ කව්ද බන් ? " මමත් එක පාරටම හිතා ගන්න බැරිව ගයාන්ගෙන් ඇහුව...


" යකෝ මහින්දෙ පිනා... "


පොර නාලගිරි හස්ති රාජයා වගෙ කෙලගෙන එනව අපි දිහාට..


" දුවපන් යකෝ... "


ගයානය මාවත් ඇදන් දුවන්න ගත්ත..


" නවතිනවා... " කියාගෙන ප්‍රින්සිපලුත් එලවන්න ගත්තෙ නැද්ද...


පස්සවත් නොබල අර පත පල්ලම දුවන් ආපු වේගෙන්ම එලියට් රෝඩ් එක මාරු උන අපි අලපලාව හන්දිය පැත්තට තියෙන පාරෙ අහුවෙන දෙවැනි දාර පල්ලමත් නියුට්‍රල් එකේන්ම ඇදල දැම්ම... බ්‍රේක් වදිද්දි අපි විමංස එකත් පහු කරල වක්වැල්ල පාරට ඔන්න මෙන්න..


දැන් ඒ රන් එක දැම්මනම් සතියක් හති රියි ඇද උඩට වෙලා... ඒ දවස් වල අපි ෆිට් නිසා පොඩ්ඩක් දනිස් දෙකට අත් දෙක තියන් හති ඇරල මන් අරූ දිහා බැලුව. ඌ මගේ දිහා බලන් හති අරිනවා...

 " ඇයි පුත්තලම් බූරුවො දිව්වෙ ? "

" යකෝ ඒ මහින්දෙ පිනා.. "

" ඉතින් ? අපේ එකා නෙමෙනේ බන්.. මොන එහෙකටද ඌට බයවෙන්නෙ ? "

" යකෝ ඌ අපේ එකාට මාට්ටු කරාම... ලොවෙත් නෑනෙ.. අල්ලගෙන කෝල් එකක් දුන්නනම් අපේ එකා ඉදියි මෙතන විනාඩියෙන්... "

" අඩෝ ඒකත් ඇත්තනේ බන්.. පොර නාලගිරි ඇතා වගේ එලවන් ආව හැටි..  "

ඒත් අපි කරපු වැරද්ද මොකක්ද කියල දැන් හිතුනට එදා හිතුනෙ නෑ එහෙම.. පාළු පාරක යුනිෆෝම් පිටින් කෙල්ලෙක් එක්ක කතා කර කර ඉදීම එල්ලුම් ගස් යන සීන් එකක් විදියට අපිට හිතුනේ...

තව ටිකක් වෙලා හති ඇරපු අපි කහපාට පේ ෆෝන් පෙට්ටියකින් කෙල්ලට කෝල් කරල කෙල්ල ගෙදරට කරදරයක් හිරිහැරයකින් තොරව ලෑන්ඩ් උනාද කියල හොයාගෙන ආයෙම විමංස එකේ තිබ්බ ප්‍රතාපසිංහ සර් ගෙ ක්ලාස් එකට යද්දි පැය භාගයකට එහා පරක්කුයි...

" ඈ බන් අයියෙ... තොපි දෙන්න කොහේද අර ගාල කඩන් දිව්වෙ ??? "

හුටා මේ මනුස්සය අපිව දැකලද... දැන් ඉතින් හැංගෙන්න වෙන්නෙ ඩෙස් එකක් අස්සෙ තමයි.. දියන්කො උත්තර..


ප. ලි : පිනා... ඌ.. එකා... ආදී වචන භාවිතා කලේ අපහාසයකට ලක් කිරීමට නොව ඒ කාලෙයේ කට වහරේ ගැවසුනේ ඒ වචන නිසාය.


ඒ පාර වහල ද කොහෙද පූල් එකක් හදල තියෙන්නේ... පොඩි මෑන් ගෙන් තමයි අහන්න ඕනි...

Monday, December 5, 2011

ඈත දුරු රටේ සීතල දැනෙනවද....

Share
 
පසු ගිය දිනක මම රැකියාව කරන ස්ථානයේ සිටි පකිස්තානුවකුට දුරකතන ඇමතුමක් ආවා... මොහොතකින් මම දුටුවෙ උලුවස්සකට ඔලුව ගහගෙන ඉකිබිදින ඔහු... යමක් සිදුවී ඇත... මම ඔහුගෙන් ඇසූ පැනයට පිළිතුර උනේ...


" my dad " 


මම ඉතිරිය වටහා ගත්තා... ආවේගශීලි තද ගති තිබූ ඔහුගේ ඉකිබිඳුම මගේ හිතත් සසල කලා...


එවෙලේම ඔහුව ඔහුගේ නිවසට හැරලවන්න මම ඉදිරිපත් උනේ එම තත්වය යටතේ රිය පදවීම එතරම් සුදුසු නෑ කියල මට හිතුන නිසා.


වසර 4 කට පසු ඔහු ඔහුගේ රටට ගොස් පියාව බලල ආවෙ මීට මාස 2කට පෙර.. මම ඒ ගැන සඳහන් කරමින් ඔහුගේ සිත සනසන්නට අසාර්ථක උත්සහයක නිරත උනා.


අපි මේ වගේ ඈත රටක තනිවෙලා... අපිව හදා ගනිපු දෙමව්පියෝ එහේ තනිවෙලා... අවුරුදු ගානකට වරක් සති කීපයක් එකට ගත කරල කුමටද... දැන් මට ආයෙ කවදාවත් මගේ පියා සමඟ කාලය ගෙවන්න වෙන්නෙ නෑ.. පසුගිය වසර කීපය ඔහු සමඟ ගත කරන්න තිබුන නම්... කියමින් ඔහු හඬා වැලපෙනවා..


" අපි මේ දුර රටක තනිවෙලා අපේ පවුල් වලින් ඈත් වෙලා ගෙවන මේ ජීවිතේ කුමක්ද ?? "


ඒ ඔහුගේ පැනයට උත්තර මා ලඟ නෑ....


ඒ සිදුවීම දිගේ මා වැඩි දුර සිතන්නට නොගියේ එය තවත් එක් සිත් වේදනාවක් පමනක්ම වන නිසා...


ඒත් ඊයෙ ඒ දිගේ හිතන්නට හේතු උනේ රෑ ඉර පාන වැඩසටහනේ ප්‍රචාරය උන ගීයක්.. mp3 වාදකයට රෑ ඉර පාන පසුගිය වැඩසටහන් copy කරල වාහනේ යන එන ගමන් ඇසීම මගේ පුරුද්දක් වෙලා...


උදේ වැඩට යද්දි වාහනේ ගුවන් විදුලියට සවි කර තියෙන වාදක යන්ත්‍රය හරහා ඇසුනු එම ගීය හිත හුඟක් සසල කලා..


දරුවන් තමන්ගෙන් ඈත් වෙලා දුර රටවල් වල ඉගෙනීමට.. රැකියාවට ගියහම තනිවෙන දෙමව්පියන් හැමෝටම පොදු සිතුවිල්ලක් එම ගීතයෙන් කියවෙනවා කියල මට හිතුනා... ගීතය අවසන් වෙද්දි මගේ ඇස් දෙක බොඳ උනේ මගේ දෙමාපියන් සිහිවෙලා වෙන්න ඕනි..


තමන්ගේ අත්දැකීමක්...දුක.. තනිකම... වචන වලට හැරවූ ඔහු  මහාචාර්ය කුලරත්න... මහාචර්ය කාලෝ ෆොන්සේකා ගේ තනුවට... රෝහන වීරසිංහගේ සංගීතයට... රෝහන වීරසිංහ හා නෙලු අධිකාරිගේ කටහඬ එක් වූ මේ ගීතයට පසුබිම් වූ කතාව රෑ ඉර පාන වැඩසටහනින් අහන්න පුළුවන්...




ඈත දුරු රටේ සීතල දැනෙනවද....
රස මසවුලු ඔබෙ බඩගිනි නිවනවද....


පුතේ...


දුක සැප බලන්නට කිසිවෙක් සිටිනවද
දෙමාපියන් හීනෙන්වත් පෙනෙනවද....


ගිය මග වෙනස් කර සෙවූ නව මග හරිද
ලක්බිම නොවේ ලොව ඔබෙ මව්බිම උනිද
ජීවයේ සැබෑ තතු ඔබ නිති සොයනවද...
ඔබ එන තුරු බලා සිටියම වැරදියිද...


පුංචිම කාලෙදි පෑ දස්කම්
මතකයි පුතුනි..


දුරු රට ගියේ විදු සක්විති දෙන්නද සුදු පුතුනේ
ඔබ ගැන මතක හිත පාරයි රන් පුතුනේ
ඉර හඳ නොපායයි ඔබ එනතුරු පුතුනේ...




 ගීතයට පසු වදනක් ඕනි නෑ කියල හිතුන නිසා ලිපියට තිත තියෙනවා....

ප. ලි :  වැඩ අධික වීම නිසා පසුගිය කාලේ බ්ලොග් ලිපියක් ලියන්න තියා බ්ලොග් කියවන්නවත් වෙලාවක් උනේ නෑ... ලිපි කීපයක් කියෙව්වත් අදහස් දක්වන්න වෙලාවක් නම් උනේම නෑ... ඒ ගැන සමාවෙන්න ඕනි....

Thursday, November 17, 2011

සුදු රෙද්දේ ගෑවෙන ලේ පැල්ලමෙන් මනින කන්‍යාභාවය...

Share


බ්ලොග් එකේ මෙතෙක් ලියවුනාට වඩා වෙනස් ලිපියක් තමයි අද ලියවෙන්නේ... සංවාදයට විවෘතයි.... 

මේ කතා දෙකම මගේ කනට වැටුනු කතා... මිතුරෙක්ගෙ මිතුරෙක් සහ මිතුරියක් තමයි නායික නායිකාවන්...


ඇය උසස් අධ්‍යාපනය ලබන යුවතියක්... ගමේ පාසල් යන කාලේ තරුණයෙක් එක්ක පෙමින් බැඳෙන ඇය කාලයක් යද්දි මේ තරුණයාගේ නොදුටු පැත්ත දකිනවා. ඔහු මත් ද්‍රව්‍ය වලට තදින් නැඹුරු උනු... රස්තියාදු කාර යාළුවො රොත්තක් වට කරගත් කෙනෙක්... අයථා සම්බන්ද එහෙමත් ඔහුගේ ලෝකයේ තිබිල තියෙනවා. ඉතින් මේ තරුණිය එම සම්බන්දයට තිත තියනවා. ඒ පාසල් කාලයේදිමයි. පසුව ඈ නගරයට එන්නේ උසස් අධ්‍යපනය සඳහා... කාලය ගත උනත් අර තරුණයාගේ තර්ජන වලින් අඩුවක් නෑ.


" මම උඹව කොහොම හරි බඳිනවා "  කියන තැන තමයි ඔහු සිටියේ...


මේ අතර මෙතනට සම්බන්ද වෙනවා තුන් වැන්නෙක්. අපි ඔහුට සුජිත් කියමු... සුජිතුත් මේ තරුණියත් අතර සම්බන්දයක් ඇති වෙනවා.


මේ අතර නිවාඩුවට ගමේ ගිය වෙලාවකදි අර ගමේ තරුණයා විසින් අර තරුණියව පැහරගෙන යනවා. දිනක් රඳවා ගැනීමෙන් පසු ඇය නිදහස් කරන ඔහුගේ එකම බලාපොරොත්තුව උනේ අර තරුණිය විවාහ කර ගැනීම. දිනක් රඳවා ගත්තත් කිසිම කරදරයක් නොකර තමයි තරුණියව නිදහස් කරන්නේ...


මේ සිදුවීම් දැන ගැනීමෙන් පසු සුජිත් හෙවත් වර්තමාන පෙම්වතා මේ තරුණියගෙන් ඈත් වෙන්න තීරනය කරන්නේ ඔහුගේ වචන වලින් " ලෙඩකට කර ගහන්න බැරි කමට ".

කාලයක් ගත වෙද්දි සුජිත් හා තරුණිය අතර සම්බන්ධය නැවත දලු ලනවා... ඒ අතර ගමේ වසවර්ති තරුණයා බලාපොරොත්තු අත හැර ගන්නෙ නෑ... නගරයට පැමිනෙන ඔහු දිනක් ඇයව පැහරගන්නවා... ඇගේ දෙමව්පියන්ට මරණ තර්ජන කරමින්.. ඇයට පහර දෙමින් ඔහු ඇයට බලකර සිටිනවා ඔහු සමඟ විවාහ වන්නට... දෙමව්පියන් ගැන ඇති බයටම ඇය ඔහු ගේ ඉල්ලීමට එකඟ වෙනවා...

කිසිත් සිදු නොවූ විලසට විවාහ රෙජිස්ටාර් කෙනෙක් ඉදිරිපිටදී ඇයට පොතේ අත්සන් කර එම තරුණයාගේ නීත්‍යානුකූල භාර්යාව බවට පත් වෙන්නට සිදු වෙනවා.

නැවත ඇය නගරයේ අත හැර දමන ඔහු ගමට යනවා...

පෙම්වතා වූ සුජිත් සමඟ පොලිසියට යන ඇය සිදුවීම පැමිනිලි කරනවා... එහි ප්‍රතිපලයක් ලෙස ගමේ තරුණයා පොලිස් අත්තඩංගුවට පත් වෙන අතර ඇයව වෛද්‍ය පරීක්ශනයක් සඳහා යොමු කෙරෙනවා. එහිදී ඔප්පු වෙනවා ඇයට කිසිම විදියක ලිංගික අතවරයක් සිදු වී නොමැති බවට.. සුජිත් ඇගේ පෙම්වතා... ඇය සමඟ සම්බන්ධය නවත්වන්නේ නැහ...

ඒත් විවාහයක් සිදුවී ඇති හෙයින් ඇය දික් කසාද වීමට නඩුවක් ගොනු කර තිබෙනවා.

අවසානයේ ඒ තරුණියගේ අතීතය දන්න සුජිත් ඇයව විවාහ කරගන්න කැමති වන හෙයින් කිසිම ප්‍රශ්නයක් ඇති වන්නේ නැහ...

ඒත්.... ඔව්.. සුජිත් ඒ සඳහා කැමති වන්නේ ඇයි ???

ඒ අර වෛද්‍ය පරීක්ශනයෙන් ලැබුන සහතිකය නිසා...  ඇය පිරිසිදු තරුණියක්... කන්‍යාවක් බව ඔප්පු වූ නිසා බව ඔබ පිලිගන්නවද... ඒත් සත්‍ය එයයි. ඇයට කරදරයක් වී තිබුනානම් ඔහු ඇයව පිලිගන්නෙ නෑ...

" ඔව්ව පස්සට ප්‍රශ්න වෙනවා.. වැරද්දක් වෙච්චි කෙල්ලෙක් ගෙන් වැඩක් නෑ.. ඒත් දැන් හිත සුද්දයි වෛද්‍ය වාර්තාව නිසා " ඒ ඔහුගේ වචන...


 ආදරය... විශ්වාසය...එකිනෙකා තේරුම් ගැනීම... ඒ සියල්ලටම උඩින් කන්‍යාවියක් වීම පෙරට ඇවිත්.... සුදු රෙද්දෙ ලේ පැල්ලම නැති උනොත් මඟුල හබක් ඒ තියරිය අනුව.... 


කතා අංක දෙක....

ඇය කරන රැකියාවට අනුව ඇයට රට පුරා විතරක් නෙමෙයි සමහර විට රටින් පිටත් ඇවිදින්නට සිදුවනවා... ඒ හැම ගමනකට ඇය සහභාගී වන්නේ මැදිවියේ සිටි ඇගේ " බොස් " සමඟින්. මේ දෙදෙනා අතර තිබූ සම්බන්ධය " බොස් " ගෙන් එහා ගියපු සම්බන්ධයක් කියා බොහෝ දෙනා අතර සැකයක් තිබුනා.. සැකයක්.. එහෙමත් නැත්තම් කට කතාවක්... මිසක් ඔප්පු වූ දෙයක් නොවේ..

කාලයකට පසු ඇය තරුණයෙක් එක්ක පෙම් සබඳතාවක් ඇති කරගන්නවා. කට කතාවලට අනුව " බොස් " මේ ගැන තදින් උරණ වෙනවා... හේතු කිහිපයක් මත ඇයටත් ඔහුටත් සිදුවන්නේ හඳ පානේ පැන යන්නට.

ඔවුන් මධු සමය ගත කරන්නේ තරුණියගේ හිතවතියකගේ නිවසක. පසු දින උදේ තරුණියගේ රාත්‍රී ගවුමේ තිබූ ලේ පැල්ලම දකින් තරුණයා ප්‍රීතියෙන් පිනා ගොස් ඇයව බදාගන්නවා... තරුණයාට සතුටුයි.. කට කතා බොරුවක්... ඒත් දෙවන දිනයේත් එය එසේම සිදු වෙනවා...


එම නිවස හිමි වැඩිහිටි හිතවතිය " සමහර ගෑනු ළමයින්ට එහෙම වෙනවා " කියමින් ඔවුන් සනසවනවා.

සියල්ල හොඳින්... තරුණිය කන්‍යාවක් වීම නිසා තරුණයාත් සතුටින්..

" එයා සතුටින් නේ.. බලාපොරොත්තු වෙන්නේ ඕකනේ කොල්ලො.. ඒ දේ දෙන්න අපි දැන ගන්න ඕනි.. ඒකට ක්‍රම තියෙනවා.. " ඒ ඇගේ වචන...

ඇය ඇත්තටම ඊට පෙර ලිංගිකව වෙන කෙනෙක් එක්ක හැසිරී තිබුනාද නැද්ද ඔප්පු නොවුනත් ඇගේ වදන් යමක් කියාපානවා යැයි සිතෙනවා... මටත් මේ කතාව හෙලි කල මිතුරාටත්.. 


 සැකය හරි නම්... තරුණියක් විදියට ඇය  ආදරය... විශ්වාසය...එකිනෙකා තේරුම් ගැනීම... ඒ සියල්ලටම උඩින් කන්‍යාවියක් වීම ට මුල් තැන දෙන සමාජයට වංචා සහගතව හරි ඕනි කරන උත්තරේ දීලා... ඇගේ අනාගතය වෙනුවෙන්... හඳපානේ ගිහිල්ලත් ලේ පැල්ලමක් නැති වීම නිසා මඟුල හබක් කර ගැනීමට වඩා එයට වංචාවක් කිරීම සුදුසු යැයි ඇයට හැඟෙන්න ඇති...

මේ ලිපියට මෙන්න මේ කරුණු ටිකත් මම යොදා ගන්නම්...


කාන්තාවන්ගේ කන්‍යා භාවය යලි සකසන්න ( hymen repair surgery ) සැත්කමක් තියෙනවා වගේම ඒ සඳහා පහසුකම් ලංකාවෙත් තියෙනවා යැයි කොහේදී හෝ මා කියෙව්වා මතකයි...

සිද්දිය පොඩි මෑන් ගේ වචන වලින් " ඉස්සරහ දොරෙන් ඇතුළු නොවී පස්සෙ දොරින් ඇතුල් වුනා නම් " හේමලය කියන විදියට " මල නොතල රොන් ගත්ත නම් " සෙකන්ඩ් නෙමෙයි කීවෙනි හෑන්ඩ් උනත් මොන දහ අට සන්නිය නටල ඇවිත් තිබුනත් බඳින එකාට ඒ කෙල්ල කන්‍යවියක්... කවුද රැවටෙන්නෙ ??

උත්පත්තියෙන් වූ පිහිටීමක් නිසා හෝ.. යම් යම් වෙනත් හේතු නිසා සමහර තරුණියන්ගේ පළමු එක් වීමේදී ඔය ආකරයෙන් ලේ පිටවීමක් නොවෙන බව මම අසා තියෙනවා. එතකොට ඒ තරුණිය කන්‍යාවියක් නෙමෙයිද ?  දික් කසාඳ කල යුතුද... ??



පහු ගිය කාලේ අහන්න දකින්න ලැබුනු ආකරයේ සිද්දි... කුඩා කාලයේදී කාමතුරයෙක් අතින් දූශනය වූ තරුණියක් නම් ඇයට සිදුවන්නේ කුමක්ද ලේ පැල්ලම් බලාපොරොත්තු වන මේ සමාජයේ.. ?? 

එලකිරියේ මේ ගැන ඇති වූ කතා බහකදි 425 දෙනෙක් ගේ අදහස් එක්ක මම් මේ ලිපිය නවත්තන්නම්...


ඔබේ අනාගත බිරිඳ කන්‍යාවියක් විය යුතුද ? ( click on the image to zoom )



මෙතනදි කන්‍යාවියක් යන්නෙන් අදහස් වුනේ පිරිමියෙක් සමඟ ලිංගිකව එක් නොවූ කෙනෙක් කියන එක... එතකොට පිරිමියෙක් ට නම් ඒකේ අනික් පැත්ත.. ගැහණියක් සමඟ ලිංගිකව එක් නොවූ කියන එක...... 

 58 % ක් ඒ කියන්නේ තවමත් කන්‍යාවියක් බලාපොරොත්තු වෙනවා... ඒ අතරම 8% ක් මීට කලින් ගෑනු එක්ක බුදියෑව කියන එක පිළිගෙනත් තවමත් අනාගත බිරිඳ කන්‍යාවියක් විය යුතුය කියන මතයේ ඉන්නවා...

 ප. ලි : ලිපියේ මගේ අදහස මේ ගැන නොකියවෙනවා නම්... මෙන්න...

"" ලේ පාර බලන්න ඕනිම නම් බැඳපු දා රෑට උල් පිහියක් අරන් ගිහින් ඇනපන් ගෑනිට...  ""

සංවාදට විවෘතයි... ඈනෝනිමස් උනත් කමක් නෑ අදහස් දක්වන්න.... කුනුහරුප නැතුව.

නම් ගම් සියල්ල මනංකල්පිතයි.

Tuesday, November 15, 2011

නිල්ලේගම සීයාගේ කුකුල් බිල්ල....

Share


කී බෝර්ඩ් එක බදාගෙන ලාරා ක්‍රොෆ්ට් එක්ක මාරන්තික සටනක නියලෙද්දි තමයි තාත්ත කාමරේට ඔලුව දැම්මෙ...


" පුතාට අදයි හෙටයි වැඩ මොකුත් තියෙද ? "



" වැඩක් නම් නෑ.. ඇයි තාත්තෙ ? "



" අර නිල්ලේගම සීයට පූජාවක් තියෙනවලු අද රෑට.. වාහනේ ඉල්ලගන්න පුලුවන්ද ඇහුව.. "



" ගහෙන් ගෙඩි එන්න වගේ.. " මටත් පොඩ්ඩක් තද උනා... අද ඕනි එක අද කියන්නේ...



" නෑ අර සමන් එක්කනෙ එයාගෙ ගමන්.. සමන් ගෙ වෑන් එක කැඩිලු...ඒකයි... "



" අතින් කයිට් ද... "



" නෑ මනුස්සයො සල්ලි දෙයි.... " කියාගෙන තාත්ත එලියට ගියා...


හයර් එකෙන් ගානක් අතට එනවනම් මොකද.. මාත් කීව වෙලාවට නිල්ලේගම සීයලගෙ ගෙදරට ගියා...


නිල්ලේගම සීය යකදුරෙක් නම් නෙමෙයි.. ආන්ඩුවෙ හොඳ රස්සාවක් කරල මේ වෙද්දි විශ්‍රාමිකව ඉන්නෙ..  ඒ කාලෙ ඔය නැකත් බලන්න.. කේන්දර බලන්න.. ගෙවල් වල දෝශ බලන්න.. ඔය එක එක පූජා වලට එහෙම කට්ටිය ආව ගියා.. දෙන ගානක් ගන්නව මිසක් දන්න තරමින් සල්ලි වෙනුවෙන් නෙමෙයි වැඩ කරේ.


නිල්ලෙගම සීයලගෙ ගෙදරින් අඩුම කුඩුම ටිකකුත් වාහනේට දාගෙන අපි දවල් 2 කට විතර පිටත් උනා. නිල්ලේගම සීයට අමතරව තව වයස අවුරුදු 40 ක විතර හීන්දෑරි මනුස්සයෙකුත් මේ ගමනට එකත් උනා..


ගමන පුරාවටම වැඩි කථා බහක් ඇති උනේ නෑ... මම වගේම සීයත්.. ගෝලයත් නිහඬ චරිත නිසා වෙන්න ඇති...  පැය 3 ක විතර ගමනකින් පස්සෙ ප්‍රධාන පාරක් අයිනේ තිබුන පරණ පහේ ලොකු ගෙයක් පෙන්නල...


" ඔන්න ඕක තමයි ගෙදර.. ඉස්සරහින් නවත්තමු... " ඒ සීයගේ අණ...


පාරටම අල්ලල හදපු සොල්දර ගෙයක්... ලඟදි පාර ලොකු කරන වෙලාවෙ ගෙයි ඉස්සරහ කොටසක් කැඩිලා.. පටු ඉස්තොප්පුවක් විතරයි ගේ ඉස්සරහට ඉතුරු වෙලා තිබුනේ... පාරට කැඩුනට පස්සෙ හදල තිබුන කොට තාප්පයකුත් එක්ක තිබුන පොඩි ගේට්ටුව වාහනයක් ඇතුලට ගන්න තරම් ප්‍රමානවත් නෑ...


" අහ් මම මේ පරක්කු මොකද බැලුව... එමු එමු... ඩ්‍රයිවර් මහත්තයත් එමු.. " අවුරුදු 60 ක පමන වයසක පසු උන බොහෝම පිලිවෙලට හැඳ පැලද සිටි මහත්තයෙක් ගේට්ටුවෙන් එබෙමින් කතා කලා...


මමත් කට්ටිය පස්සෙන් ගෙට ඇතුල් උනා... දුර්වර්ණ උන පිත්තල බඩු.. පැරැණි විශාල කවිච්චියක්... පැරැණි විලාසිතාවෙ වේවැල් පුටු කිහිපයක්...එක්ක තිබුන වටපිටාව මට කියා පෑවෙ නාට්ටි වල පෙන්නන විදියෙ වසර ගානකට කලින් උජාරුවට තිබුන වලව්වක්...


මගේ හිතට මොකක්දෝ මන්ද නාඳුනන බයක් දැනුනේ ගේ ඇතුලෙ තිබ්බ පාළු ගතියටද... වටපිටාවටද කියන්න මම දන්නෙ නෑ... ඒ වට පිටාව විස්තර කරන්න මට තේරෙන්නෙත් නෑ...


ඇහ පොඩ්ඩක් හරවද්දි බිත්තියේ එල්ලල තිබ්බ විශාල චායරූප දෙකක් මගේ ඇහ ගැටුනා.. එකක් අශ්වයෙක් පිට නැගුන යුද හමුදා නිලධාරියෙක්... ඉංග්‍රීසි හමුදාවෙ නිලධාරියෙක් කියල මට හිතුනේ පින්තූරෙ තිබ්බ පරණ ගතිය නිසා... අනික ඇඳපු පින්තූරයක්... චිත්‍රයක්...  වංශවත් උඩරට මැණිකෙ කෙනෙක් ගෙ පින්තූරයක් හිතට ගන්නකො... අන්න ඒ වගේ... කිසිම හිනාවක් නොතිබුන ඒ පින්තූරයේ හිටි ගැහණු කෙනාගෙන් දිස් උනේ නපුරු පාටක්... ඒ දිහා වැඩි වෙලාවක් මම බලන් හිටියෙ නෑ.. ඒත් මට තාමත් මතකයි... 


දීපු තේ එක බීල මම පුටුවක් වාඩි වෙලා පත්තරයක් කියව කියව හිටියේ නිල්ලේගම සීයත් අර ගෝලයත් ගෙයි ඇතුලේ පූජාවට ලෑස්ති වෙන නිසා... ඇස් දෙක පත්තරේ තිබ්බත් හිත නා නා ප්‍රකාර මනෝ ලෝක වල... ගැහණු කටහඬවල් කීපයක් ඇහුනත් අර මුලින්ම දැකපු මහත්තය ඇරෙන්න ගෙයි කිසිම කෙනෙක් මම ඒ වෙනකල් දැක්කෙ නෑ...


" පුතා පුළුවන්ද පොඩි හෑන්ඩ් එකක් දෙන්න... "


ඒ අර මහත්තයා...


" පුළුවන් අන්කල්.. මොකක්ද.. "



" මේ බඩු වගයක් තියෙනව පූජාවට ඕනි කරන... සොල්දරේ උඩ.. තනියම ගේන්න අමාරුයි... "


මම එන්නම් අන්කල්..


කියමින් මම අන්කල් ගෙ පස්සෙන් ගියා..


ලෑලි පඩි පෙලක් තිබ්බෙ සොල්දරේට යන්න..


භාගයක් දුර නගින කොට මගේ ඇඟම හිරි වැටිලා..  ඒ ගේ ඇතුලට ආවට පස්සෙ තිබුන නාඳුනන බය ... පඩි පෙලේ ලී වලින් එන සද්දෙ ඒ බය දෙගුණ කලා...


ටිකකින් අපි සොල්දරේ උඩ... .ඒක දූවිල්ලෙන් වැහුන නා නා ප්‍රකාර ලී බඩු.. පිත්තල බඩු.. වලින් පිරිලා... අන්කල් අතේ තිබ්බ ටෝච් එලියට පේන දෙයක් ඇරුනම තිත්ත කළුවරයි..


" ලයිට් එකක් නෑ පුතා මේ කෑල්ලට... ඕනි බඩු ටික ගත්ත දවල්ම.. ඒත් අමතක වෙලා බඩු වගයක්.. "


කියමින් අන්කල් ටෝච් එකක් අරන් අර බඩු අස්සෙ ඔට්ටු වෙනවා...


පත්තර කොළ වලින් ඔතපු මොකක්දෝ පාර්සලයකුයි කනප්පුවකුයි අරගෙන අපි සොල්දරේට සමු දුන්නා... විනාඩියක් ගෙවෙන්න ඇති... මට නම් පැයක් විතර...


කනප්පුව නිල්ලේගම සීය පූජාව ලෑස්ති කරන තැන තියපු මම ඊලඟ මොහොතේ හිටියේ වාහනේ ඇතුලේ...

පැයක් විතර වාහන එහාට මෙහාට යන පාර අයිනේ හිටි මම ගේ දිහාට ගියේ තව දුරටත් කන ගාවින් විදගෙන යන ලේලන්ඩ් සද්දෙ ඉවසගන්න බැරි කමටත් වඩා මුත්‍රාශය පැලෙන්න වගේ තිබ්බ මුත්‍රා බරෙන් නිදහස් වෙන්න ඕනි කමට....

ගෙට ඇතුල් නොවී මම අයින දිගේ ගේ පිටිපැස්ස පැත්තට ගියේ වැසිකිලියක් හොයා ගෙන.. මොනවදෝ මන්තර වගේ ජාතියක් ඇහෙනවා ගේ ඇතුලින්.. ගාථාවක්ද මන්ද... සිංහල නෙමෙයි... මොන වැසිකිලිද... කෙහෙල් පඳුරක් ගාව මම මගේ බර නිදහස් කරගත්තා...

පාරෙ තිබ්බ කාර්ය බහුල කම නිසා මගේ හිතේ තිබ්බ බය අඩු වෙලා තිබ්බේ.. සද්දෙ ඇහෙන දිහාට ගිය මම ජනේලෙකින් ඔලුව දැම්ම...

පූජාවට පහන් පත්තු කරල.. මල් එහෙම තියල.. මොනවදො කියවනව... මම ගේ ඉස්සරහ තිබ්බ පටු ඉස්තොප්පුවෙ තිබ්බ පුටුවකින් වාඩි උනා.. පාර අයිනේ නිසා වාහන යනවා... අර තිබ්බ පාළු මූසල ගතිය නෑ.... වෙලාවක් යන්න ඇති.. ඇතුලින් හිමිහිට ඇහුන සද්දෙ වැඩි උන... සිහි විකල්ලෙන් කෑ මොර තියන සද්දෙකුත් ආව නිසා මම ඔලුව දැම්ම ඒ දිහාට...

මම බිරන්තට්ටු උනා...

සොල්දරේට යන පඩි පෙල ට එහා පැත්තෙ තිබුන විශාල කෑම මේසයක්.. ඒ මේසෙ ගාව බිම වැටිල සිහි විකලෙන් දගල දගල හිටියේ අර අපිත් එක්ක ආව කෙසඟ මනුස්සය... මොනවදො කියෙව්වා... මට ඒ එක වචනයක් වත් මතක නෑ..

නිල්ලේගම සීයා මොනවදො කිව්ව... ටික වෙලාවකින් දගලමින් නැගිට්ට අර මනුස්සය අතට සීයා කුකුලෙක් දුන්නා... කුකුල කෑමොර දෙනවා... තව මොනවදො කියෙව්ව.. අර කුකුලගෙ බෙල්ලෙන් අල්ලගෙන...

ඔව් මම දැක්ක.. සහතිකයි.. ඒ මනුස්සය අර කුකුලගෙ බෙල්ල හපා කෑව... අර පන ගැහෙන කුකලගෙ බෙල්ල හපා කෑව... කුකුල් ලේ කට පුරා වැක්කෙරෙනවා...

ඒ එක්කම මට දැනුනෙ මහා පිළුනු ගඳක්... කුණු ගඳක්... තව දුරටත් ඒ දර්ශනේ බලන් ඉන්න මට පුළුවන් කමක් උනේ නෑ.... ඒ ගඳත් එක්ක හුස්ම තද කරගත්තු මම හුස්ම ටික පහතට ඇරියේ මහ පාරට ඇවිල්ල... 


යාන්තමට ඇරල තිබ්බ වීදුරුවත් වහල දාල මම වාහෙනේ දොරවල් ටිකත් ලොක් කරල දාල ඇතුලට වෙලා ටික වෙලාවක් හයියෙන් හුස්ම ගත්තා... මම මොකක්ද දැක්කේ කියල හිතා ගන්න බැරුව... සෑහෙන වෙලාවක් මම හිටියා... ඇස් දෙක යාන්තමට පියවීගෙන එද්දි මම ගැස්සිල ඇහරුනේ වීදුරුවට දාපු තට්ටුවකින්...

ඒ අර පාළු ගෙදර අන්කල්..

මම යාන්තමට වීදුරුව ඇරියා..

" පුතා පූජාව නම් ඉවරයි... මොනා හරි කාල තේ එකක් බොන්න එන්න... "

තේ බොන්න... අර ගේ ඇතුලට යන්න.. ඒත් අර මනුස්සය බලන් ඉන්නවනේ..  මම ගියා..

තේ බීල ඉවර උනහම අපි එන්න ලෑස්ති උනා..

" මේව කරාට පස්සෙ වැඩිය රැදෙන්න හොඳ නෑ මහත්තයෝ... "


 කියමින් එදා රෑ ඉදල යන්න කල ආරධනාව නිල්ලේගම සීය ප්‍රතික්ශේප කර වෙලාවේ උන්දැගෙ කකුල් දෙක අල්ලල වදින්න හිතුන මට.. අපි රෑ 2 ට විතර පිටත් උනා...

පිටත් වෙන්න කලින් අර අන්කල් ඇවිල්ල මගෙන් වාහනේ හයර් එක කීයද අහල ඒ ගාන සාක්කුවට දැම්ම...

පාර පාළු නිසා මමත් ඇරල ආව.. ඒත් අර කුණු ගඳ වාහනේ ඇතුලටත් ඇවිත්... වීදුරු ඔක්කොම ඇරගෙන ආවත් ඒ ගඳ මගේ නාහෙට එනවා... නිල්ලේගම සීයවයි අර මනුස්සයවයි බස්සපු මම කෙලින්ම ගෙදර ගියා...  



කාටවත් ඇහරවන් නැතුව එලියෙ තිබ්බ වතුර මලෙන් නාගත්තු මම එලියෙ වැලේ තිබ්බ සරමකුයි කමිසෙකුයි ඇදෙගන වාහනේට නැග්ග ආයෙම... ඊලඟ නැවතුම මදාර සර්විස් එක. සර්විස් එක ඇරපු ගමන්ම වාහනේ හෝදවගත්ත දෙපාරක්ම... එතන හිටිය කොල්ලො දෙන්නට වැඩිපුරත් ගානක් දීලා... අර ගඳ යන්න එයා ෆ්‍රෙශ්නර් බෝතලයක්ම ගහන්න ඇති.... ම්ම්ම් හරි ඔය තියෙන්නේ...

ඒ සිදුවීම ඔලුවෙ හොල්මන් කරත් හයර් එකේ ගාන මට නිසා මම සතුටින් ගෙදර ආව...



ඒත් අර මනුස්සය කුකුලගෙ බෙල්ල කාපු හැටි.... කොහොම අමතක කරන්නද...  දවස් කීපයකින් මම නිල්ලේගම සීයාගෙන් ඔය ගැන ඇහුවා... සීය කියපු විස්තරේ අනුව...

අර හිටපු අන්කල්ගේ නෝනගේ මහ ගෙදර තමයි ඒ... ඒ පළාතේ හිටිය ප්‍රභූ පවුලක්... අර පින්තූරේ හිටපු නෝනා තමයි ඒ මහත්තයගේ නැන්දම්මා...නපුරු චරිතයක් ලු... ඒ කෙනාව තමයි අර මනුස්සයට වැහිල තියෙන්නේ.. ඔය කියන ගෑනු මනුස්සය මැරිල තියෙන්නේ පපුවෙ අමාරුවක් හැදිලා.. ඔය කෑම මේසෙ ගාවම බිම වැටිල ඉදල තමයි හම්බුවෙලා තියෙන්නේ...

" සීයා කියන්නේ ඒ මනුස්සයා ඔය ගෙදර හොල්මන් කරා කියලද.. ? "

" ඒයි ඇක්මොන් ඔය පුවක් ටික ගෙට දාපන්... "  කියමින් වත්ත දිහාවට ගිය නිල්ලේගම සීය ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑ...



ප. ලි :  නම් ගම්... පළාත්... හැරුනකොට සත්‍ය සිද්ධියකි...

Saturday, November 12, 2011

හුටා.... උපන්දින 2 ක්....

Share


එක් එක් කාල වලට එක එක ආකරයේ ලෙඩ බෝ වෙනවනේ... ජංජාලෙත් එහෙමයි.... පිස්සත් ජංජාලෙට සෙට් වෙලා නා නා ප්‍රකාර දේවල් වලට වහ වැටිල හිටිය එක් එක් කාල වල..

2004 දි විතර මාස ගානකින් නවත්තල දාපු කොම්පීතර ඩිග්‍රියක් කරන කාලෙ තමයි පිස්සා ජංජාලෙ ට මුලින්ම හුරු උනේ...

Gmail, Yahoo, Hotmail ආදී නා නා ප්‍රකාර ඊ ලියුම් අඩවි වලින් ඊ ලිපින හදාගෙන E mail Forward කරන එක තමයි ඒ කාලේ ලොකුම රාජකාරිය..
ඒ ඇරුනම Kaputa, Suntel Wow වගේ Chat රූම්ස් වල පැය ගනන් නාස්ති කරන්නත් පුරුදු වෙලා හිටියා..

ලංකාවෙන් ආවට පස්සෙ පාලුව තනිකම නසන්න ජංජාලෙ නියම ඔසුවක් උනා... ඒ කාලෙ Clublk, Elakiri, Lanka1st වගේ අඩවි වල රෑ දවල් නොබල Thread දාන එක...  රිප්ලයි කරන එක.. වැඩිහරියක් Topic එකෙන් පිට පැනල ස්පෑම් කරන එක තමයි විනෝදාංශෙ..  ඒ අඩවි හරහා අදුර ගත්තු බොක්කෙන්ම ෆිට් උන යහළු යෙහෙලියොත් සෑහෙන පිරිසක් අදටත් පිස්සට ඉන්නව...
Msn , Yahoo අඩවි හරහා අදුර ගත් අයත් එක්ක චැට් කිරීමත් සැරට කරා...


කාලයක් යද්දි පරණ මූනු හැලිල අලුත් මූනු ඔය අඩවි වලට එද්දි පිස්සත් ජංජාල ෆෝරම් වලින් ටික ටික ඈත් උනා... මූනු පොත හෙවත් Facebook ජනප්‍රිය වෙන්න ගත්තෙත් ඔය කාලේ.. ඉතින් ඊට පස්සෙ ඇබ්බැහිය උනේ මූනු පොත.

පෝක් කරයි.. තෑගි යවයි.. ක්‍රිකට් ගහයි..  වගා කරයි.. යුද්ද... මාෆියා.. ඉඩම් ගන්න විකුනන්න... නා නා ප්‍රකාර මූනු පොතේ ගේම් එක්ක කාලෙ ගත වුනා...
ෆොටෝ දානව.. ටැග් කරනව.. කමෙන්ට් කරනවා ලෙසට... ඒකටම සෙට් වෙච්චි යාළුවො සෙට් එකකුත් හිටියා ඒ කාලේ... එක කාලයක් විතරයි.... කාලයත් එක්ක උන් වගේම මාත් දැන් මූනු පොත භාවිතයත් සෑහෙන අඩුයි...



2009 දි විතර තමයි පිස්සට සිංහල බ්ලොග් ගැන ඉව වැටුනේ.. සඳුන්ගෙ නිකමට වගේ තමයි මතක විදියට බලමු මුල්ම බ්ලොග් එක... ඕකෙ අර සිගරට් බොන කෙල්ලගෙ කතාව තමයි මුලින්ම බැලුවෙ.. ඊට අමතරව දුකා අයියගෙ බ්ලොග් එකත්... ටැබූ බ්ලොග් එක... මලී ගෙ ඇබ්නෝමල් මයින්ඩ්ස්... මරණෙගේ මගේ මරණය වගේ... බ්ලොග් කීපයක් තමයි සිංහල බ්ලොග් වලට පාර පෙන්නුවේ. 


ඉතින් 2009 දි මම පටන් ගන්නව සිංහල හා ඉංග්‍රීසි බ්ලොග් දෙකක්... මේ දෙකම පටන් ගන්නේ ජංජාලෙ ෆෝරම් වලත් මූනු පොතෙත් මම භාවිතා කරපු කට්ටිය දන්න කියන නමකින්.. පෝස්ට් 10 ක් විතර ලියන්න ඇති.. වැඩේ අල්ලල ගියෙ නෑ... කවුරුත් බලන්නෙත් නෑ... කමෙන්ට් කරන්නෙත් නෑ.. ඔය කාලේ මට සින්ඩි ගැන අවබෝධයක් තිබ්බෙත් නෑ...


ටික දවසක් යද්දි මට හිතුන ලියන්න ඕනි කවුරුවත් නොදන්න නමකින් කියල.. එතකොට බය නැතුව ඕනි දෙයක් ලියන්නත් පුළුවන්.. එහෙම හිතල ඔන්න මම 2009 නොවැම්බර් 12 වෙනිදා පළාමල්ලෙ පලවෙනි පෝස්ට් එක දානව " හා හා පුරා කියල " . බ්ලොග් එකට පිස්සගෙ පළාමල්ල කියල දාන්න හේතුවවත් ඇයි ඒ නම දැම්මෙ කියලවත් මට හිතාගන්න බෑ...  ඒත් පිස්සා කියන නමට නම් පිස්සා පට්ට ආසයි.

ඒත් පලවෙනි පෝස්ට් එකෙන් පස්සෙ වල් වැදුන බ්ලොග් එකේ දෙවැනි පෝස්ට් එක මාස 4 කින් විතර 2010 මාර්තු 6 වෙනිදා ලියවෙනවා. ඊට පස්සෙ ඉතින් පුළු පුළු වන් විදියට තවමත් පළාමල්ල අවුස්ස අවුස්ස මොනව හරි කුරුටු ගානව.  ලියන වේගෙ නම් ඉතින් සතියකට පෝස්ට් එකක් වගේ තමා හිතල බැලුවම... පෝස්ට් 118 ක් ලියල තියෙනවා මේ වෙද්දි... ( සමහර පෝස්ට් නම් ඉවත් කරා පස්සෙ )...  හිට්ස් 85000 ක් පමනත්.. කමෙන්ට්ස් 3100 ක් පමනත් මේ වෙද්දි ලැබිලා තියෙනවා..

බ්ලොග් ලියල ලැබුනෙ මොනවද කියන ප්‍රශ්නෙට මුල්ම උත්තරේ නම් සුපිරි චරිත ටිකක් දැන අදුර ගන්න ලැබීම... බ්ලොග් අවකාශේ ඉන්න ඒ සුපිරි චරිත අඳුර ගන්න ලැබීමම ඇති මට නම්...

ඉතින් ආව ගිය අදහස් දක්වපු අයියල අක්කල මල්ලිල නංගිලා ඔක්කොටම බොක්කෙන්ම ස්තූතියි. ඔයාලගෙ අදහස් නොවන්නට පළාමල්ල ත් තවත් එක වල් වැදුන බ්ලොග් අඩවියක් වෙන්න තිබුනා... 100 වෙනි පෝස්ට් එකේදි කිව්ව ස්තූති කතා කියල වැඩි දවසක් නැති නිසා ඒවා ඕනි නෑ... ඒත් ඒ කිව්ව වගේම කවුරු හරි මම ලියන දෙයක් කියවලා අදහසක් දෙනවට මම පට්ට ආසයි... ඉතින් වෙලාව යොදවල ලියන ඒව කියවල අදහසක් කොටල යන උබල ඔක්කොටම ස්තුතියි ආයෙමත්....

ඉතින් අදට.. 2011 නොවෙම්බර් 12 වෙනිදට පිස්සගෙ පළාමල්ලට අවුරුදු 2ක්...

ඔන්න මගෙන් සුබ පැතුම්...

ඔව් අහම්බයක්... සැබෑම.. ඒත් මගේ කෙල්ල පැටියගෙත් උපන් දිනය අද.. 


යාළුවෙක් වෙච්චි... කාලයක් ගිහින් හොඳම යාළුවෙක් වෙච්චි... අද වෙද්දි මගේ කෙල්ල පැටිය වෙච්චි එයාගේ උපන් දිනේත් අද... 

මගේ හැම වැරද්දම රන්ඩු නොවී පෙන්නල දෙන...
මට තරහ ගිහින් කොච්චර බැන්නත් මාත් එක්ක රන්ඩු නොවී අහන් ඉන්න...
දවසම මහන්සි වෙලා ඇවිත් කෝල් එකක් ගත්තම ලස්සනට හිනා වෙලා මගෙ මහන්සිය නිවන...
මාව තේරුම් ගනිපු...
මගේ හීන වල හිටපු ජාතියේ පොළවෙ පය ගහල ජීවත් වෙන... ලස්සනට ආදරේ කරන්න දන්න...
ඔයා වගේ කෙල්ලෙක් ලැබුනේ වාසනාවකට...

පාළු සීතල රටක තනිවෙලා... හම්බු කරපු එකෙන් කාල බීල.. පාළු කාමරේට වෙලා කපුගේගෙ  උලලේනෝ අහන ගමන් 42% සැර බීම එක්ක තනි වුනු... ජීවිතේ ගැන.. අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නැතිව ඔහේ පාවෙවී හිටිය මට... ජීවිතේ ට සතුටක්... අනාගතේට බලාපොරොත්තුවක්... දුන්නේ ඔයා... 


මේ අවුරුද්දෙ බැරි උනත් ලබන අවුරුද්දෙ ඉදන් ඔයාගෙ හැම උපන්දිනයකටම මම ඉන්නව සුදූ ඔයා ලග..

ඉතින්.. ඔයාට සුබම සුබ උපන් දිනයක් සුදූ...


ප. ලි :: බ්ලොග් එකේ උපන් දිනයයි... කෙල්ලගේ උපන් දිනයයි දෙකක් ම එකට වැටුන එකේ ලාවට වගේ අංශයක් එක්ක සමරන්න තරහා අවසරද මන්ද.... හික් හික්...

ප. ලි 2 : අපේ මගේ ලෝකය ලියන රංග අයියගේ බ්ලොග් එකට අවුරුද්දක් වෙද්දි... මාර අයියගේ මාරයාගේ හෝරවට අවුරුදු 2ක් වෙලා.... ගොඩ වැදිල බැලුවනම් කට්ටිය....

Monday, November 7, 2011

මගේ ජීවිතේ පොරක් වූ " තනිකමත් " එක්ක ජීවීතේ විදීම....

Share
 
උදේට අපේ ගෙදර තේ හදන්නේ තාත්තා... අම්ම උයනවා... තේ හදල ඉවර වෙලා " කොලුවෝ.. තේ හරි " ඒ තමයි මගේ අවදිවීමේ එලාම් එක...
කොලුව නැගිටල ගිහින් තේ එක ගන්නවා... ඒ අරගෙන සාලෙට එනවා... පාන්දර නිසා කළුවරයි... රෑ පුරා දැල්වුනු වොට් 5 බල්බ් එකෙන් යාන්තමට අදුර බිදෙන ආලෝකයක්... පුටුවකින් වාඩිවෙලා ගන්නව කකුල් දෙක උඩට.. හොඳට ගුලි ගැහෙනවා... ඊට පස්සෙ ඇස් දෙකත් පියාගෙන අර තේ එක උගුරින් උගුර බොනව... විනාඩි 5ක් සමහර විට 10ක්.. තේ එක ඉවර වෙලත් ටිකක් වෙලා ඉන්නවා... ඒ මොහොතට මම පට්ට ආසයි...


රතු හාලේ බතුයි... කිරි හොඳියි... උබලකඩ සම්බෝලෙයි.... නැත්තම් තෙම්පරාදු බතුයි... බිත්තර පළුවකුයි.. ලා පොල් සම්බෝලේයි... කාල එලියට බැස්සම තියෙන ෆිට් එක... කොළබ ඉන්න කාලේ නම් කොටුවෙ කමර්ශල් බෑන්ක් එක ගාව තිබ්බ කඩේ රුපියල් 28 බත් එකට අර කෑම වේලට කිට්ටු වෙන්න බැරි උනත් හාල් මැස්සො තෙල් දාල... පරිප්පුයි.. බිත්තර පලුවයි..පොල් සම්බෝලෙයි... ඇඟට වදිනවා.... 

ආත්තමලහ තියෙන තේ කෑල්ලේ දවල් 1 - 2 වෙද්දි තියෙන්නේ පුදුම පාළුවක්... කොහොමත් පාළුයි.. ඒත් ඒ වෙලාවට තියෙන පාළුව ලස්සනයි... ඩොංග ගස් වලින් හෙවන උන ගල් තලාවක් තියෙනවා... පොතකුත් උස්සන් මම යනවා එතනට... අර ගල් තලාව උඩට වෙලා පොත කියවනවා... මගේම හීන ලෝකයක ජීවත් වෙනවා... ඇතියි කියල හිතුනම නැගිටල එනවා... ඇවිල්ල බාල්දියකුත් අරගෙන ආයෙම යනවා ලිඳට.... කඩල තිබ්බොත් තැඹිලි ගෙඩියක් හරි කුරුම්බයක් හරි අරන් යනවා මන්නෙකුත් එක්ක.... නාල ලිඳ ලගම තියන් තැඹිලි ගෙඩියටත් වග කියල එනවා... ආත්තම්ම උයල... රතු බත්.. මාළු.. එක්ක මොනා හරි.. ඒකත් කාල අව්ව බැස්සම ගෙදර එනවා...

වහින වෙලාවට ඉස්තෝප්පුවේ තියෙන වේවැල් හාන්සි පුටුවට වෙලා වැස්ස දිහා බලන් ඉන්න එක මගේ පුරුද්දක්... රෑ නම් මම හුඟක් කැමතියි.... " අම්මේ... ප්ලේන් ටී එකක් " හුලඟට වදින හිරිකඩ එක්ක එන සීතල... දුම් දාන ප්ලේන් ටී එකෙන් එන රස්නෙ... ඒක නියම හැඟීමක්... විදින්නම ඕනි... අම්බානෙක අකුණු ගහන්නෙ නැත්තම් වැස්ස ඉවර වෙනකල්... එක්කො රෑ 10 - 11 වෙනකල් මම එතනින් හෙලවෙන්නෙ නෑ... අම්ම බත් එක බෙදල ගෙනත් දෙනව එතනට බැරිම තැන....
හවසට ඇඟ හෝදන්න කලින් වැස්සොත් කමිසෙ ගලවල දාල වැලකට සරමත් කැහපට ගහගෙන වෙල පැත්තෙ තියෙන බැම්ම උඩින් වාඩි වෙලා වැස්ස දිහා බලන් ඉන්න එකටත් මම ආසයි. ගරාජ් එකේ වහල නිසා තෙමෙන්නෙ නෑ.. එත් හීකඩට තෙමෙනවා... එහෙම ඉදල නානකොට පට්ට...


නිදා ගන්න ඇඳට ගිහින් රෙද්ද ඇතුලෙ ගුලිවෙලා වැස්සෙ හඬට සවන්දීගෙන ඉන්නකොට ඒක භාවනාවක් වගේ...

කොළඹ ඉන්න දවස් වල හිතුන ගමන් නගිනව ගාලු හරි මාතර හරි බස් එහෙක... ටිකට් ගන්නව කළුතරට... කළුතර බෝධිය ගාවින් බැහල රුපියල් 20 ක් දීල ගන්නව මල්.. තෙල් හඳුන්කූරු නම් නෑ... සෙරෙප්පු දෙකත් මුල්ලකින් තියල මල් පූජ කරනවා... හිතුනොත් බෝධියත් නාවනවා... ගඟ අයිනෙ තියෙන බුදු මැදුරට ගිහිල්ල නිදහසේ වඳිනවා... හිත පට්ටම නිදහස්... පාර පැනල උඩ බෝධිය ගාවට ගිහින් අයිනකින් වාඩි වෙනවා... එතන නිදහස්... කලබල අඩුයි... ජීවිතේ ගැන හිතන්න නියම වෙලාව... ටිකක් වෙලා ඉදල ආයෙම බස් එහෙක නැගල කොළඹ එනවා...

සල්ලි අතේ තියෙන සමහර දවස් වල හිතෙනවා බියර් එකක් බොන්න නිදහසේ... නාගෙන ශෝටකුයි කමිසෙකුයි ඇඳගෙන රුපියල් 500කුයි හැඳුනුම් පතයි ( ජංගම දු.ක දාල එනවා ) අරගෙන පයින්ම එනවා පිළියන්දල ශැංහයි එකට... හවස 4 ට විතර කවුරුත් නෑ... කොනක මේසෙකින් වාඩි වෙලා ගෙන්න ගන්නව ලයන් එකක්... පොඩි ඔම්ලට් එකකුත්...පැය 2 - 3ක් ගත කරනවා... හිතවා... අතීතේ.. වර්තමානේ... අනාගතේ.... ලයන් ලාගර් 2ක් තමයි උපරිම බොන්නේ... ලාවට කික් එකක් තියෙනවා.. සෙනඟ පිරෙද්දි බිල ගෙවල මම එනවා... එන ගමන් කඩේකින් සම්බෝලත් එක්ක ආප්ප කනවා.. ආප්ප 3ක් ඇති... රුපියල් 15යි... දුම් දාන සැර... ගෙදර ඇවිත් ආයෙම ඇඟ පොඩ්ඩක් හෝදන් ඇදට.. නින්ද යනව ලෙසට

******************************
 
ජීවිතේ එක වකවානුවක මම ඇබ්බැහි උනු... අදටත් ලංකාවට ගිය වෙලාවට පුළුවන් විදියට විඳින... සිද්ධීන් කීපයක්... මේ සිද්දි දාමයට මම පට්ට ආසයි... 
හැබැයි ඒ සිද්ධි දාමය මගේ ජීවිතෙන් ඈත් උනු... ලංකාවෙන් පිට උනාට පස්සෙ මට ඕනි වෙලාවට විදින්න බැරි සිද්ධීන් කීපයක් බවට පත්වෙනකල් ඒවයේ වටිනාකමක් මට ලොකුවට දැනුනේ නෑ...
ඒ හැම එහෙකම තනිකම ගැබ් වෙලාද කියල හිතෙනවා... මම තනිකමට ආසද... ? ඔව් මම ආසයි... පට්ටම ආසයි...

ඒත් රටින් පිටවෙලා නාදුනන මූනු මැද විදින තනිකමට මම ආස නෑ... ඒක වදයක්... ඒත් වෙලාවකට මම ඒ තනිකමත් විදිනවා... කපන්න බැරි අත සිබිනව වගේ...


" තනිකම " කවුරු මොනව කිව්වත් උබත් සිරා පොරක් බන්... පොරක් කියන්නේ සිරාම සිරා පොරක්... නවම් අයියේ තනිකමත් මගේ ජීවිතේ පොරක්... ඌ පොරක් උනේ ජීවිතේ විඳින්න පුළුවන් තවත් එක පැත්තක් මට පෙන්නපු නිසා... 

Wednesday, November 2, 2011

පිස්සාගේ ලංකාගමනය

Share

අහස් යානයෙ පුංචි කවුලුව අතරින් පේන වලාකුලු මැදින් කොළ පාටට ගොඩබිම පේනකොට.. ගුවන් තොටුපලේ නවත්තල තියෙන Sri Lankan Air ප්ලේන් ටික දකිද්දි... හප්පා... හිතට එන හැඟීම නම් ආව්... කියලා වැඩක් නෑ...


හුන්ඩුවක් වගේ ප්ලේන් එකෙන් බැහල එද්දි හිනාවීගෙන ඉන්න මහරජා දැක්කමත් පොඩි කික් එකක් එනව කොච්චර බැන්නත්.. ඒක නම් වැඩියම දැනුනෙ 2009 යුද්දෙ ඉවර වුන වෙලාවෙ ලංකාවට යද්දි...


ඊට පස්සෙ ඔන්න ඉතින් ලංකාවට ආව කියල සීල් එකත් ගහගෙන අපේ එව්වොන්ට බෝතලුත් අරන්... බෝතල් 3 යි වයින් 3 යි... අපේ උන්ට හැරෙන්නත් මදි... ඒත් මක්ක කරන්නද.... ඔන්න ඉතින් බඩු මුට්ටු පොදි ගහන් එලියට එනවා... ඇත්තමයි අපේ රේගු නිලධාරින් බෑග් මලු පරික්සා කරලම නෑ නෙව මගේ... මූන දැක්කම පව් ඕනි නෑ කියල හිතෙනවද මන්ද....


අම්මයි තාත්තයි ඉන්නේ ඔය රත්තරන් පුතා එනකල්... ඒ මොහොතට මම පුදුම ආසයි.... අපේ අම්ම නම් සතුට වැඩි කමටද මන්ද අඩනවා.... " කොලුවා ආව නේ... " කියල තමයි තාත්ත නම් අහන්නේ....


කොහොමින් හරි එයාර් පෝර්ට් ඉදන් ගෙදර යද්දි ලංකාවෙ අපිටම ආවේනික වාහන එලවිලි දැක්කම එන කික් එක ගැන කුමන කතාද... ඇගේ හී ගඩු පිපෙනවා... මෙතුවක් කාලෙකට එයාර් පෝර්ට් එද්දි වාහනේ අරන් ආවෙ අපේ බාප්ප... අනේ උන්දැගේ එලවිලි... F1 යවන්න හිතෙනවා... සමහර වෙලාවට ඇස් දෙක මම තද කරල පියා ගන්නවා... සත්තයි... ලංකාවෙ ඉන්න කාලෙත් ඔරොත්තු දුන් නෑ වෙලාවකට... බයටම...


ඉතින් හැමදාම වගේ අලුතින්ම සිම් එකකුත් අරගෙන හතර දිග් බාගෙ ඉන්න උන්ට කතා කරනවා....

" මචන් මම ලංකාවෙ "

" අපෝ තෝ ආවද..... අතේ තියෙන සල්ලිත් ඉවරයි... නිවාඩු ටිකත් ඉවරයි "

" අඩෝ කැ*** නොකියම ආවනේ.... " ( කිව්වනම් උන් තොරන් ගහන්න වගේ )

" අඩෝ සෙට් වෙමු අහ්... බෝතල් ගෙනාවනේ... ගෝල්ඩ් ද බ්ලූ ද.. "


නා නා ප්‍රකාර රතු රෝස නිල් කොළ කතා...

" අඩෝ අද මොකෝ කරන්නේ.. උනවටුනෙ සෙට් වෙමුද... " බෑ කියයි මම.. මුහුදෙ නාල ඊට වඩා බීල හපොයි..


ආව දවසෙ ඉදන් යාලුවො කිව්වොත් පරන කතා.. ප්‍රශ්න.. දුක් ගැනවිලි.. ආදර කතා... අරව මෙව්ව ඔක්කොම... කොහොම ගියත් බීමක් තම.. කොටුවෙ හරි... අරූගෙ වත්තෙ හරි.... චීනෙක් මලාට ආවෙ නැති චීන කඩේක හරි... නෙළුම් කොලේ හරි... කෙහෙල් පඳුරක් බෝක්කුවක් පල්ලෙ හරි.... බීම තමා... එහෙව් බීමක්... චික්....


ඔක්කොටම වඩා අම්ම උයන කෑම හප්පේ... මෙහෙදි මලොත් නම් මල පෙරේතයෙක් වෙල උපදීවිද මන්ද... චීන ග්‍රීක් ඉන්දියන් ඉතාලි ඔය මොන උලව්ව කෑවත් මට අල්ලන්නෙ නෑ නෙව ලංකාවෙ කෑම තරම්...  මම උයන ලංකාවෙ කෑම ඉතින් අපි ඒ ගැන කතා නොකර ඉමු.... හික් හික්....


යහමින් උම්බලකඩ දාපු සම්බෝලෙත් එක්ක උණු කිරිබත්.. තෙම්පරාදු බත් එක්ක ලා පොල් වලින් හදපු පොල් සම්බල්... වත්තෙන් කඩා ගනිපු පුහුල්... බන්ඩක්කා... කොළ මැල්ලුම්.... අළුත් කියන්නේ අළුත්ම එළවලු.... අනේ... කෑම ගැන නම් ලියන්නෙ නෑ... කෙළත් ගිලෙනවා.... ( අපි නොලිව්වට අර මාරයා අපිව කෙළ ගිල්ලවල මරනවා බුකියේ කෑම දදා... )

ලිදෙන් එන සීතල වතුර ටිකක් නාල එද්දි තැබිලි ගෙඩියක් බීල... උණු වෙන් බත් සුට්ටක් කාල... ගහක් යටට වෙලා කල්පනාවක් දාන් ඉද්දි තියෙන සැප....


කෙල්ලත් එක්කත් රවුමක් ගහල.. ෆිල්ම් එකක් එහෙම බලල සාප්පු සවාරියක් ගිහින්... පන්සලකට එහෙමත් ගිහිල්ලා.... උදේ ගිහින් හවස එන්න පුළුවන් day ට්‍රිප් පුළුවන් තරම් දාගෙන.....


උදේ ඉදන් හැන්ද වෙනකන් ටෙලිෆෝන් කොම්පැනි පෝසත් කරලා... ලංකාවෙ ඉද්දි වැඩියෙම වියදම් වෙන්නෙ රී ලෝඩ් වලටද මන්ද.. දානව දානව ඉවරයක් නෑ.. දෙක නම් අනිවා අරක්කු සහ බයිට් වලට...


නෑ ගෙවල් වල අහල පහල එව්වොන්ගෙ ගෙවල් වල ගිහින් දත් 31 පෙන්නල හැමදාම අහන උන්ටවත් මටවත් වැඩක් නැති ප්‍රශ්න සැට් එකට උත්තර දීල...


එහෙමත්ම වෙලාවක පරණ කෙල්ලොත් මුන නොගැහෙනව නෙමෙයි පාර තොටේදි....


අතේ තියෙන අන්තිම සතේටම හිදෙනකන් ඉන්නව...  කාලය යනවා නිකන් තප්පරෙන් හඳට යන වේගෙන්....

" පුතේ  කවද විතරද යන්නෙ... නිකන් මෙහෙට වෙල ඉදල වැඩකුත් නෑනෙ.. " කාලය සහ මා විසින් මා කා දැමීම බලන් ඉන්න බැරුව අම්මයි තාත්තයි විසි තිස් පාරක් වත් ඇහුවම ඔන්න " ඔව් ඔව් යන්න ඕනි... " කියල දවසක් කියනවා....


රටේ නැති කෑම ජාති පැකට් කරන්න ගන්නෙ එතකොට ඔන්න... මගෙ නම් කිසිම උනන්දුවක් නෑ.. මොකද ඒ වෙද්දි යන්න එපැයි කියන වැටුන මානසික මට්ටමේ නෙව.... එත් අම්මයි තාත්තයි ඒව වරද්දන් නෑ.. කරවලද... කිරි ටොෆිද... බූන්දිද... දොදොල් ද..... සීනි සම්බල්ද... විකාර ගොඩාක්... මෙහෙට ඇවිත් ඉතින් ඕක කැලි වලට කඩල දන්න දන්න එවුන්ට බෙදුවම ඇති දේකුත් නෑ...


ණයට හරි සල්ලි ටිකක් හොයන් අවුරුද්දකට විතර ඇඳුම් කෑලියි සිංහල ඉන්ගිරිසි DVD තමා මන් ගන්නෙ... අන්තිම වෙද්දි අතේ සතේ නෑ... ෆුල් හිඟන්නා... මේ පාරත් මෙහේ ඇවිත් ණය බේරුවෙ අපේ එවුන්ගෙන් ගනිපු.... මේ පාරනම් වැඩියම ඉතින් හිත හොඳ කමට අතේ තිබ්බ සල්ලි ණයට දීල දීපුව නොලැබීමේ ආනිසංසෙන්...


ලංකාවෙ එන දවස තමයි එපාම වෙන්නේ... කෙල්ල අඩනව එහෙන්... අම්මත් අඩනවා... ආයෙ ඉතින් මේ සීතල රටයි... වැඩයි... මෙලෝ රහක් නැති කෑමයි... එක්ක මටත් ඇඩෙනවා.... හැබයි මුල් කාලෙ තරම් අවුලක් නම් නෑ දැන්... ප්ලේන් එකේදි හොඳට වැදෙන්න දෙකක් දාල දෙන දෙයක් කාල බුදියනවා දුක යන්නත් එක්ක... ගානක් නෑ... ආයෙම ලංකාවට යන්න countdown has began.... 

ඒකත් මහ පුදුම දෙයක්... ගමේ ඉන්න අපේ සඳරුවා කොළඹ එන්න ආසයි... කොළඹ එකා රට යන්න ආසයි... රට ඉන්න එකා ලංකාවට එන්න ආසයි... ජීවිතේ අපි අපිට නොලැබෙන.. නිතර ලබා ගන්න බැරි දේවල් වලට පුදුම ආසයි... ඒ ආසව නිසාම අපිට ලැබුන දේවල අගයක් අපිට නොදැනී යනවා... ජීවිතේ තවත් එක හැටියක්...

හමුවෙමු නැවතත්...

Tuesday, October 25, 2011

ඔව් අපි සිප ගත්තා.. තප්පර 5 ක්.. 10 ක්.. 15 ක්

Share

 පොතකුත් අතේ රෝල් කරන් ස්ටෑන්ඩ් එකේ නවත්තපු බසයෙන් බැහපු මම හෙමිහිට ස්ටෑන්ඩ් එකට ඇතුලු වෙලා වටපිට බැලුවා... වෙලාව දවල් 2 ට විතර නිසාද මන්ද තිබුනේ අමුතු පාළුවක්... කකුලකුත් බිත්තියට ගහ ගන්න ගමන් කොට බිත්තියකට හේත්තු උනු මම වට පිට බැලුවෙ අඳුරන එකෙක් වත් ඉන්නවද කියල බලන්න.... මොන..

ගෙදර ඉන්න කම්මැලි කමට ක්ලාස් කියල එලියට බැස්සට මෙතන ඊට එහා..  පුස්ථකාලෙ පැත්තටවත් ඔලුව දැම්මොත්... ඒ එක්කම මගේ ඇහ ගියේ KLH එකෙන් එලියට බැහපු කෙල්ලෙක් දිහාවට... තිලිණි... මම කාලයක් ට්‍රයි කරපු කෑල්ලක්...

ඔව්.. මට වඩා අවුරුදු 2 ක් වැඩිමල්.. මම විතර දෙගුණයක් විතර සයිස් කොල්ලෙක් මගේ කොලර් එකෙන් අල්ලල බිත්තියකට හේත්තු කරන ගමන්  " තෝ ආයෙ මගේ කෑල්ල පස්සෙ ඇවිල්ල තිබුනොත් කපනව තොගෙ බි** "  කියල සද්දෙ දාපු දවස වෙනකල් මම තිලිනිට try කලා...  

ඒ අවුරුදු 2 කට විතර උඩදි... ඊට පස්සෙ තිලිනි තව කොල්ලො කීප දෙනෙක් අශ්‍රය කලා... ඒත් එදා තර්ජනයත් එක්ක මම නෙමෙයි තිලිනිට try කලේ.... ඔව් මීයක් කඩන්නෙ අත ලෙව කන්න නෙමෙයි නේ...  තිලිනි ගැන නොදැන නෙමෙයි මම ට්‍රයි කලෙත්... අපේ ගමේ ගයන්ත අයියත් කාලයක් ම තිලිනි ව හොඳට පරිහරනය කලා... දන්න තරමින් අන්තිමට තිලිනි යාළුවෙල හිටියෙත් ඌත් එක්ක... ඒ සම්බන්ධෙ නැවතුනා කියලත් මම දන්නවා... " ඒකෙන් ගන්න දෙයක් නෑ බන් තව " කියල ගයන්තය කිව්ව මතකයි... ඒත් තිලිනි ගැන නොදන්න කෙනෙක්ට එහෙම නොහිතෙන තරම්ම ලස්සනක් වැදගත් පෙනුමක් තිලිනිට තිබ්බ...


මෙන්න ඒකි ස්ටෑන්ඩ් එක ගාවටම ඇවිත්... මම ඒකි දිහා බලාගෙන ආවර්ජනයක යෙදෙනවා...  ඒකි හිනා උනා... ඔලුවෙන් වගේ කතා කරා.. මම එක පාරටම ගැස්සිල වට පිට බැලුවෙ මටද කියල විශ්වාස නැති නිසා... මොකද ආයෙ පෝරියල් එකක් සෙට් වුනොත්... මොකද ඉතින් එක කොල්ලෙක් කියලය...

නෑ... ඒ මටම තමයි... මම හිමිහිට ඒකිට කිට්ටු කලා...

" කොහොමද...  " ඒකි හිනා වෙලා ඇහුවා...

" වරදක් නෑ.. ඉතින් හුඟ කාලෙකින් දැක්කෙ... දැන් මොකද කරන්නේ..."

ආදී ඕනිම කෙල්ලෙක් එක්ක දාන වදන් ටික දැම්මා... සුපුරුදු ප්‍රශ්න අවසානයත් එක්කම..

" මට ඔයත් එක්ක දෙයක් කියන්න තියෙනවා....  "

මාත් එක්ක.. මට හීන් දාඩිය පාරක් දානව දැනුනා.. ඒ බයටද මන්ද... මේකි මට සෙට් වෙන්නවත්ද... වෙන්න බෑ...

" අපි කොහෙට හරි ගිහින් කතා කරමුද... "

මේකි මේ කියන්නේ රූම් එකකට යමු කියලද.. නෑ වෙන්න බෑ.. ෆිල්ම් එකක්.. ම්ම් නෑ එහෙනම්.. අතේ තියෙන රුපියල් 20 එලියට ඇදෙන වැඩක්ද... ඒකෙන් පුළුවන් ප්ලේන්ටි 2ක් බීල තව දුමක් දාන්න... එච්චරයි... එහෙනම් මොකක්ද මේ වෙන්න යන්න


" කො කොහාටද... මො මොකටද... "

ශික් විතරක්... ගොතත් ගැහෙනවා...


" ඔයාට කමක් නැත්තම් අපි පාක් එකට යමු.. මේ වෙලාවෙ සෙනගත් නෑනේ.."

පාක් එකට.. මෙ දවල්.. කෙල්ලෙකුත් එක්ක..

" ඔ... ඔයාට මොනවද කියන්න තියෙන්නේ... "

" ඒ ටික මෙතන කිව්වම ගිහින් කියන්නේ මොනවද මැට්ටො..  " ඒකි මගේ අතකට ලාවට පාරක් ගහන ගමන් කිව්ව...

" හරි එහෙනම් යමුකො... "


ඒකිට ට්‍රයි කරන්න ගිහින් නෝන්ඩි උනා කියල ඒකි දන්නවා... ඒ ඇරුනම ඔය ගයන්තය එක්ක බස් එකේදි අරහෙ මෙහෙදි දැකපු වෙලාවට හිනා වෙලා කතා කරල තිබ්බට මේකිට මාත් එක්ක කියන්න තරම් දෙයක්... මොන මරාලයක් ද වෙන්න යන්නෙ හිත හිත මමත් ඒකිගෙ පස්සෙ පාක් එකට ගෑටුවා...

" මෙහෙම වාඩි වෙමුද... "

පරණ පුරුදු පොට් එකක්ද මන්ද ගහක මුලක් පෙන්නුවා.. සතියෙ දවසක් නිසාද දවල් වරුව නිසාද මන්ද ඒ හැටි සෙනගක් නෑ... එහෙන් මෙහෙන් ගස් කොළන් වලට මුවා වෙලා හැංගි හොරා ආදරය කරන එව්වො කීප දෙනෙක් ඇරෙන්න...

" ඉතින් දැන් මොනවද කියන්න තියෙන්නේ... "

මම කතාවට මුල පිරුවා...

" ඔයා දන්නවනේ ගයන්ත ගැන.. මම ගයන්තව හුඟක් විශ්වාස කරා..................... "


කතාව දිගට ගියා...තිලිනි ගෙ නූතන පටාචාර පුවත කියන්න මාවම තෝරා ගත්තේ ඇයිද කියන පැනයට පිළිතුරු සොයමින් මමත් ඇහෙන ඒ කතා පුවතට ඇහෙන්න දුන්නා...


ඒ ඇහෙන දේවල් එක්ක මගේ හිතට එන නා නා ප්‍රකාර අදහස් එක්ක හිත පෙරළි කරද්දි මම එක පාරටම මනෝ ලෝකයෙන් පිබිදුනා... හත්තිලව්වයි... මේකි මගේ උරිස්සට ඔලුව තියන් අඩනවා...

කෙල්ලෙක්ගෙ කඳුලු ඉස්සරහ දිය නොවෙන හිත් තියෙන කොල්ලො සිටීද ?? නැත ස්වාමීනි... මගෙ හිත මට කියපි.. 


ඇයි මේකි මේ අඩන්නේ.... වටේ පිටේ එව්වො මොනව හිතයිද... උන් මට ගහයිද කෙල්ලෙක්ට අතවර කලා කියල හිතල....

" තිලිනි මේ බලන්න...  " 
 
මම තිලිනිගෙ මූන මගේ දිහාට හරවගත්තා... මෙච්චර වෙලාවකට නොදැකපු ලස්සනක මම ඒ මූනේ දැක්ක.... කඳුලු පිරුනු ඇස් දෙක... කඳුලු පාරවල් දෙකක් මූන දිගේ ඇදිලා... ලා රෝස පාට තොල් පෙති... මම ටිකක් වෙලා ඒ දිහා බලන් හිටියා.. යමක් කීමට අවශ්‍ය උනත් මගේ උගුරේ මොනවද හිර වෙලා... කෙල ගිලෙන්නෙත් නැද්ද මන්ද... අපේ ඇස් එකට හමු උනා... මොහතකින් ඒ ගැහෙන ලා රොස පාට තොල් පෙති දෙක ටිකින් ටික කිට්ටු වෙනවා වගේ දැනුනා... ඔව් මගේ ඇස් පියවුනා..

තිලිනි ගේ ඒ ලා රෝස පාට තොල් පෙති  මෙතුවක් කල් සිගරට් දුමින් කලු ගැසුනු මගේ තොල්  එක්ක පැටලුනා... ඔව් අපි සිප ගත්තා..

තප්පර 5 ක්.. 10 ක්.. 15 ක් යන්න ඇති... මට දැනුනෙ අපුලක්ද... නෑ ඒත් මම එක පාරටම ඒකිගෙන් ඈත් උනා...



මට තේරෙන්නෙ නෑ... ඒත් මට එතනින් ඈත් වෙන්න ඕනි උනා... තිලිනි බිම බලාගත්තා... මෙතනින් යමන් යකෝ... මගේ සිත කෑ මොර දෙනවා... ඇයි ඒ.. මගේ කටේ තිත්ත රසක් තියෙනව වගේ... කෙල ගුලියකුත්... මට කෙළ ගහන්න ඕනි... ඒත් මේකි ඉන්නවා... මම අමාරුවෙන්...

" තිලිනි අපි යමු...  " කියල කිව්වා... හිතේ අමාරුවක් නිසා නෙමෙයි.. ඒ කටේ හිර උනු කෙල ගුලිය නිසා ඇති වූ අමාරුවකින්.. මම අඩි ඉක්මන් කලා... මේකි නැල වෙනවා.. කල්ප කාලාන්තරයකින් අපි දුම් රිය ස්ථානය ඉදිරිපිට...

" තිලිනි මම යන්නම්... " ඒකි ඔලුව වැනුව... මම අඩියට දෙකට මාරු උනා.. ඔව් මම නැවතුනේ P & J එකට එහා පැත්තෙ තියෙන තේ කඩේ ඉස්සරහ... අර හිර කරන් හිටි කෙල ගුලිය කානුවකට ගහපු මම කඩේ ඇතුලට ගිහින් වතුර වීදුරුවකින් කට හෝද ගත්තා.. ඇවිද්ද වේගෙටද වෙන හේතුවකටද මන්ද මගේ පපුවත් ගැහෙනවා....

" මට ප්ලේන්ටි එකකුයි ගෝල්ඩ් ලීෆ් එකකුයි ගේන්න "  කියන ගමන් මම පුටුවකින් වාඩි වෙලා ඔලුව මේසෙ උඩට ගහගෙන කල්පනා කරා මොකද උනේ කියල.. මට...

වේටර් කොලුව ගෙනාපු සිගරට් එක පත්තු කරන් දුම් ගුලියකින් මම ඒ තිත්ත රස යවා ගන්න try කලා... හොඳට සීනි දාපු රස්නේ ප්ලේන්ටි එක ඒ දුම් ගුලියට වැටෙනකොට ඒ තිත්ත රස නැති උනා.. ඒත් ආයෙ ආයෙ එනව වගේ...

ඇයි ඒකි ඒ දුක කියන්න මාව තෝර ගත්තෙ ?
ඇයි ඒකි මාව සිප ගත්තේ... ?
ඇයි ඇයි ඇයි... ඇයි යකෝ ඇයි... මම මගෙන් ම අහනවා...

මම දන්නෙ නෑ.. මම පරාජිත හඩකින් උත්තර දෙනවා..

සිගරට් එක අළු වෙලා... ප්ලෙන්ටි එකත් ඉවරයි... ඒත් ප්‍රශ්න පත්තරේකුයි... තිත්ත රසයි ඉතුරුයි...

මම රුපියල් 20 වේටර්ට දීල එලියට බැස්සා... කානුවට තව කෙල පාරක් ගහල හිමිහිට ස්ටෑන්ඩ් එක පැත්තට පාවුනේ ගෙදර ගිහින් නා ගන්න හිතාගෙන...



ප. ලි :: මෙහි " මම " යනු මම නොවන අතර.... මේ කතාව මනංකල්පිතයක්ද නොවේ...

කාලවකවානුව මීට වසර 6 - 7 කට පෙර...

පිස්සාගෙ අවවාදය : දුම්බීම ශරීරයට අහිතකරය.

Thursday, October 20, 2011

ඉස්කෝලෙ කාලේ ගුටි කාපුවා.. දඩුවම් ලබපුවා.. මතක් කරමුද..

Share

අම්මගෙන් කවදාවත් ගුටි කාල නැති උනාට 6 - 7 වසර වල් වලට වෙනකල් තාත්තගෙන් නම් ගුටි කාල තියෙනවා... ඒ ඉතින් මොනවටවත් නෙමෙයි පාඩම් කරන්නෙ නැති උනහම තමයි. ඒත් තාම මතක් වෙන්නෙ දවසක් තාත්ත ගෙන් ගුටි කාල නිදා ගනින්ද්දි මගේ ලගට  ඇවිල්ල කඳුලු පිරුනු ඇස් දෙකින් මගේ දිහා බලන් පිට අත ගාපු හැටි... 

" මට දුක හිතුනා පුතේ " කියල කිව්වා...

අම්මගෙනුයි තාත්තගෙනුයි ගුටි කාපු ව ගැන නෙමෙයි.. එතකොට ඔය ස්කෝලේදි.. ක්ලාස් වලදි... බස් ස්ටෑන්ඩ් වලදි කොල්ලො එක්ක වලි දාගෙන ගුටි කාපුව ගැනත් නෙමෙයි...



අද ලියන්න යන්නේ ස්කොලේ දි ක්ලාස් වලදි ගුරුවර ගුරුවරියන්ගෙන් ගුටි කාපුවා... දඩුවම් ලබපුවා ගැන...

මම ඇත්තටම ස්කොලෙදි ගුටි කාල තියෙන්නේ හරිම අඩුවෙන්... ඒ මම බ්‍රයිට් කේස් එකක් නිසා නම් නෙමෙයි.. ඒ මම නිහඬ.. අහිංසක චරිතයක් නිසා වෙන්න ඇති... මම ඕ ලෙවල් කාලෙ වෙනකල් දඟ වැඩ වලට ඒ තරම් සහභාගී උනේ නෑ...

ඒවටත් එක්ක පිස්සු කෙලින්න ගත්තේ ඒ ලෙවල් කරන්න ගියාට පස්සේ... පිස්සු කියන්නේ ඉතින් ඒ ලෙවල් නම් පිස්සුම තමයි. ඒ ලෙවල් කාලෙත් අර විදියටම හිටියනම් අනේ අද කොහෙද... සන්දුක්කේ...


කොහොම හරි.. හා හා පුරා ස්කොලෙදි කියල දඩුවමක් ලැබුනේ 1 වසරෙදි... මසං ගහ යට රවුමට ඉදගෙන පාඩමක් කියවද්දි මායි තව එකෙකුයි ( සුරංග කියල මතකයි නම ) වෙන මොකක්දෝ හෑල්ලක් කතා කර කර හිටියා... උගන්නපු මිස්ට ( ඒ ස්කෝලෙ අපි කිව්වෙ ටීච කියල... සර් ට නම් සර්... ) තද වෙලා දෙන්නටම දන ගහන්න කිව්ව අර වැලි පොළවෙ... මට ඇඩෙන්නත් ආවා... ඒත් දන ගහගෙන හිටියා...

මම ඉස්සර ස්කෝලේ ගියේ නැගෙනහිර පළාතේ පාසලකට... සමහර සර් ලව දැක්කමත් දුවන ගානට ළමයි බයයි.. ඒ තරම් දඩුවම් වලට ප්‍රසිද්ද නිසා.

සරඹ කරන්න හිටිය සර් ඒ අයගෙන් එක්කෙනෙක් දෙනව ඩෝන් ඩෝන් ගාල අහුවෙන එකකින්... එතකොට කළු මහත සර් කෙනෙක් හිටිය දැක්කමත් චූ යන සයිස් මට නම්.. දවසක් මට කිව්ව මොකක් හරි එකකට ( හරියටම මතක නෑ වැරද්ද... ඒත් අපිට උගන්නපු සර් කෙනෙක් නම් නෙමෙයි )


අනික් දවසෙ අහු උනොත් කකුල් දෙකෙන් මේ බාල්කෙ එල්ලනවා කියලා...

මම දවස් 2ක් ඉස්කෝලෙ ගියෙ නෑ ඊට පස්සෙ බොරු ලෙඩ අරන්... තනියම කල්පනා කරා ඇත්තටම මාව එල්ලයිද ඒ බාල්කෙ කියලා.. පස්සෙ මගෙ ටිකිරි මොලේට තේරුනා ළමයෙක්ව එහෙම එල්ලන එක ප්‍රායෝගික නෑ කියලා... ඒත් මම නෙමෙයි ඒ සර් ගෙ මූනට මුලිච්චි උනේ ඊට පස්සෙ.

තුන වසරෙදි ඉන්ටවල් ඉවර වෙලා පන්තියට එන්න පරක්කු උනා දවසක්... ඒ අපි ක්‍රිකට් ගගහ හිටි නිසා.. ඈබැරිච්ච කෝටු කෑල්ලක් අරන් අත දිග අරින්න කියල පුළුවන් වෙර යොදල පාර දෙක ගානේ ගැහුව පරක්කු උනු හැමෝටම... ඒ නම් මිස් කෙනෙක්....එදාත් කඳුලු පිරෙන්න රිදුනා...

උබේ අත පෙන්නපන්... ලග හිටිය එකා කිව්ව මතකයි.. අත රතු වෙලා පාර හිටලා...

තවත් මොකක්දො වැරද්දකට පන්තියෙන් භාගයක් විතර වැලි පොලවෙ අර කාශ්ටක අව්වෙ දන ගහන් හිටියා... ඒ අව්වෙ රත් උනු වැලි පොලවෙ අවුරුදු 8 - 9 ක වයසෙදි දන ගහන් ඉන්නව කියන්නේ ලොකුම දඩුවමක්...

මම 5 ශිශ්‍යත්වෙන් පස්සෙ ඒ ස්කෝලෙන් ආව.. පුටුව උඩ නගින ඒවා.. පන්තියෙන් එලියට දාන ඒවා... ගුටි කෑම් කීපයක්ම තියෙනව.. ඒ ඇරුනම මතක නැති ඒවත් ඇති...


ඒ ස්කෝලෙ මම ආදරය කරන කරුණාවන්ත ගුරුවරු කීප දෙනෙක්ම හිටියා.. ඒත් සමහරු හැසුරුනේ දුශ්කර පළාතක වැඩ කරන්න උන කෝපයෙන්ද මන්ද... ඒ කෝපය දුප්පත් දෙමව්පියන්ගෙ ළමයි පිටින් ගියාද මන්දා...



ගාල්ලේ ස්කෝලෙට ආවට පස්සෙ 7 වසරෙදි ස්කෝලෙන් පැනල ගිහින්.. ( මම වත් දන්නෙ නෑ පැනල ගියා කියල මොකද ගේට්ටුවෙන් ස්කෝලෙ ඇරෙන්න විනාඩි 5 ක් කලින් ගියේ ) සෝමරත්න සර් ගෙ ඔෆිස් එක ගාව පීරියඩ් 5 ක් හිටන් ඉන්න උනා...

8 වසරෙදි නම් කීප විටක් බන්ඩාරගොඩ සර් ගෙන් ගුටි කන්න වෙලා තියෙනවා... බ්‍රයිට්ම සිරාම ඩයල් එකක් ඇරෙන්න බන්ඩාරගොඩ සර් ගෙන් හෙවත් බන්ඩ ගෙන් ගුටි නොකාපු එකෙක් අපේ ස්කෝලෙ අපේ පන්ති වල හිටිය කියන්න බෑ... බෙල්ලන් අල්ලල පිට මැද්දෑවට ඩොං ඩොං ගාල දෙනවා... අනේ හප්පේ... ආතල් එකට ත් අල්ලන් ගහනව වෙලාවකට කොල්ලොන්ට...


9 වසරෙදි බන්ඩාරගොඩ මිස් අඩි කෝදුවකින් හීනියට පාර දෙකක් ගැහුවත් මතකයි... එතකොට අර කලින් පෝස්ට් එකේ කියවුනු බෝනික්කි ටීචගෙනුත් ගුටි කාල තිබේ... ඒ වේවැලෙන්...

ඊට පස්සෙ නම් ගුටි කාලා නෑ... ඔය කොල්ලෙක් ගෙන් වලියකදි කෑවොත් ඇරෙන්න...

ඒ ලෙවල් වලදි යුනිෆෝම් එකේ අවුලක් වෙලා අහුවෙලා ප්‍රින්සිපල් ගෙ ඔෆිස් එක ගාව පීරියඩ් 6 ක්  හිටන් ඉන්න උනා...



නාගහවත්ත සර් ගෙ වයිෆ් ට මොකක්දෝ කිව්ව කියල කොල්ලෙක්ට ගහපු ගැහිල්ල...  7 වසරෙදි පුටුවකුත් පෙරලගෙන වැටෙන්න දීපු ගුටි ප්‍රහාරය... අපේ පවනය 13 දි පොන්නම්පෙරුම සර් ගෙන් කාපු ගුටි කෑම... අදී කීපයක් නොමැකෙන විදියට හිතේ ඇදිල තියෙනවා...

ලියවුනේබොහොමත්ම අඩු ප්‍රමානයක්.... මීට අවුරුදු 10 කට 15 කට 20 කට එහා දේවල් නෙව.... මතක් වෙන්නෙ නෑ...

කට්ටිය ගෙ අත්දැකීම් බෙදා ගමුද පහලින්... නැත්තම් බ්ලොග් පෝස්ට් එකක් ලියල පහලින් ලින්ක් එක දාමු අම්බානෙක ගුටි කාල තියෙනම්.. හික් හික්...

Tuesday, October 18, 2011

මගේ කෙල්ල බ්ලොග් කියවන්න අරන්... ( පළාමල්ල ට වාරණයක් )

Share

කාල වරෙන්කො.... ඇනොනිමස් විදියට බ්ලොග් ලියන්න කියල ඔන්න ඉතින් පිස්සුවකුත් හදාගෙන ආව කියමුකො.... ඊට පස්සෙ ටිකින් ටික එකා දෙකා අදුර ගත්තා... අභීත දත් දොස්තර මහත්තය හීනයක් දැකල අවුරුදු උත්සවයක් තියල බ්ලොග් අවකාශෙ සැට් එකක්ම අදුර ගත්තා... ඊට කලින් නෙළුම් කොළේ සෙට් වෙච්චි එක වෙනම කතාවක්...


ඔය කොහොමින් හරි මූනු පොත හරහා අර තිබ්බ පිස්සගෙ ඇනොනිමස් ගතිය නැති උනානෙ...


ඒත් ඉතින් බ්ලොග් අවකාශෙ එව්වො ඇරෙන්න මම බ්ලොග් ලියනව කියල දන්නෙ නැහ නෙව කවුරුත්... අපේ එව්වො එක්ක බීමකට සෙට් උනු වෙලාවක ගෝල්ඩ් ෆිශ් කෝල් එකක් දුන්න මතකයි දවසක... ( ලංකාවට ආව වෙලේ.. ) එවෙලෙ ඌත් එක්ක කතා කරපුව අහන් හිටපු අපේ නම් බ්ලොග් එකේ ජනප්‍රිය චරිත ටික ඇහුව මොකක්ද බන් උබ ලියන්නේ.. මොනවද ඔය බ්ලොග්  කියල... 

" තොපි ගැන තමයි ඉතින් " 

කිව්වට උන්ට ඒක තේරුනේ නැත්තෙ එවෙලේ මල්ටි බිලියන් බිස්නස් ඩිස්කශන් එකක් ගිය නිසා වෙන්න ඇති අපි අතරේ... බිව්වම අපේ සංකය කතා කරන්නේ එහෙම එව්ව ගැන... අතරින් පතර කඩ්ඩත් දානවා....


කොහොමින් හරි ඉතින් අපේ මගේ වෙන්න භාරියාව හෙවත් කෙල්ල පැටියට ඕක ඉව වැටුනා..

මොනවද ඔයා ලියන්නේ ?

කා ගැනද ?

මං ගැනත් ලිව්වද... ?


ආදී ප්‍රශ්න.. ටික දවසක් යද්දි.. කෝ ඉතින් ඔය ලියන ඒව මටත් එවන්නකො... හරිනේ ඉතින්...


" ඔයාට ඉන්ටර්නෙට් නෑනෙ සුදු... " එහෙම කියල බේරෙන්න හැදුවට කොහෙද එව්ව... එව්ව හදේ ලු..


" අහ් එහෙනම් ඉතින් ෆෝන් එකෙන් කියන්න...  " හප්පුච්චියේ මේ ලියන එව්ව කියවන්න පුළුවන්ද... කම්මැලි නැද්ද අප්ප.. මෙලෝ රහක් නැති එව්වනේ... අනික මේකෙ තියෙන බේබදු කතා සැට් එක දැක්කම අනේ අර බෝ පැල කියල හිතන් ඉන්න මගේ යාළුවො ගැන අපේ කෙල්ල මොනා නොහිතන්න බැරිද...  ඊට පස්සෙ ඉතින් ලංකාවට ගිය කාලෙක වත් එව්වො එක්ක සෙට් වෙන්න අවසර ගන්න අමාරු වෙනව නෙව අර එකෙක්ට වුනා වගේ...

ලිපියක් දෙකක් කියෙව්ව අමාරුවෙන් තෝරගෙන.... මටම කම්මැලියි..
මම හිතුවා බ්ලොග් කියවිල්ල ඇහිල්ල ඒකෙන්ම එපා වෙයි කියල... කෝ නෑනේ...

මේ ඔය බ්ලොග් එක එවන්නකො මට...


දවසක් තකහනියෙම...


ඇයි සුදු ඔයා කොහොමද බලන්නේ..

මම බලන්නේ මගේ ෆෝන් එකෙන්..


හුටා.. ෆෝන් එකෙන්...

ඕකේ සිංහල නැහනේ සුදු... බ්ලොග් බලන්න සිංහල තියෙන්න ඕනි..


එදාත් වැඩේ ශේප්...

මේ ඔයාගෙ බ්ලොග් එක එවන්නකො... මම බලන්න ට්‍රයි එකක් දෙන්නම්... මේකෙ සිංහල තියෙනව අනේ...

හුටා හරිනේ... දැන් ඉතින් මොකේදැයි දන් වලදන්නේ අපේ ලොකු හාමුදුරුවනේ කිව්වලු....

palaamalla.blogspot.com ඔන්න සුදු... ඕක තමයි බ්ලොග් ඇඩ්‍රස් එක...

පැයක් ගියා... 2 ක්... 4 ක් 5 ක්... සද්දයක් නෑ...

සුදූ මොකද කරන්නේ ?


ප්‍රතිචාරයක් නෑ...

ගත්ත කෝල් එකක්...

" දිව් රාල පවසන්න මට ආ... බීප් බීප් බීප්...  "

හුටා කට් කරා නේද...


ඔන්න තව විනාඩි 10 කින් විතර කෝල් එකක්...


අනේ සොරි පැටියො... මම ඔයාගෙ බ්ලොග් එක බල බල හිටියේ...



ඉතින් කට් කලේ... මටත් ටිකක් විතර තද උනා..



අහ් මම අර දිනිති කතාවෙ අන්තිම කොටස කියව කියව හිටියේ.. ඒකයි...


හුටා...


මේ කව්ද අනේ දිනිති.. ඔයා මට කියල නෑනේ...



දිනිති නෙමෙයි අනේ... ***** බ්ලොග් එකේ නම වෙනස් කරල දැම්මේ ඉතින්...



අහ් එයාද...



මේ මේ ඉතින් ඔයා අපි ගැනත් ලියන්නකො...


හරිනේ... තව මෙගා සීරිස් එකක්.. බ්ලොග් එකක් කියවගන්නවත් වෙලා නැති කොට මෙගා ලියන්න...


වෙලාවක් නැහැනේ සුදු.. පස්සෙ ලියමු..



ඒ උනාට ලියන්න ඕනි හොඳද...



හරි හරි සුදු...


ඔය ආකරයේ ප්‍රශ්න පත්තරයක්...


අපෝ ඒ උනාට ඔය බේබදු කතා ලියන්න එපා අනේ.. ඔයාගෙ බ්ලොග් එක කියවන අය මොනව හිතයිද...


බ්ලොග් අවකාශෙ නොදන්න බෝතලය කිව්වලු...

ම්ම්ම් ඔව් ඔව් බොන කතා නොලිය ඉන්න ඕනි...


ඔයාගෙ ඔය පරණ කෙල්ලො ගැනත් ලියන්න එපා... ඒව ඕනි නෑනේ.. ඔයා මම ගැන ලියන්න...


හරිනේ... ඔන්න එහෙනම් පිස්සගෙ පළාමල්ලටත් ඒක පුද්ගල වාරණ මන්ඩලයක් පත් කරල... ඉස්සරහට ලියන එව්වයෙන් මොනව වාරණය වෙයිද මන්ද...


ප. ලි : ඔය ඉතින් මම ඔහොම කිව්වට අපේ කෙල්ල කිසි ගින්නක් නෑ... ඔයා ලියන ඒව හොඳයි... ඒ කවුරු ගැනද... ආදී ප්‍රශ්න/ විචාර තමයි ඉතින්... මම දන්නවනේ.. මෙච්චර කාලෙකට චූටි හරි ලෙඩක් දැම්මෙ බොනවට තමයි.. ඒකත් ඉතින් වැඩිය එපා කියනව මිසක් " බිව්වොත් එහෙම  මම තෝව දාල යනවා " ජාතියේ තර්ජන නම් නෑ... කොහොමින් හරි සිංහලෙන්ම කියනවනම් රත්තරන් කෙල්ලෙක් සෙට් උනා අන්තිමේදි...


මෙව්ව ඇවිල්ල නවසීලන්තයෙන්ම වැඩි ගානට ආනයනය කරපු සුපිරි බටර්... හික් හික්...

Monday, October 17, 2011

අම්බානෙක බීල... ලයිසන් නැතුව එලවලා.. පාර වැරදිලා.. පොලිසියට මාට්ටු වෙලා.. ගෙදර ගිය හැටි..

Share
 
ඉතින් අපිත් වයසට යනවා... මූනු පොතට පින්සිද්ද වෙන්න ලොකේ වටේ ඉන්න අපේ උන්ගෙ ඕප දූප ටික ආරංචි වෙනව. අපේ උනුත් දැන් ටික ටික  ජය මංගලම්.. පවුල් පන්සල් වෙන්න අරන්...
අනේ සාදු... දැන් මේ කියන්න යන්නෙ පවුල් පන්සල් වෙන්න යනව කියල නෙමේ...


කොටින්ම මගුලක් ගැන නෙමේ මගුලකට ගිහින් උන දෙයක් ගන කියන්න හදන්නෙ...


2005 ජනාධිපතිතුමා රජ වෙන්න කලින් තිබ්බනෙ ජනාධිපතිවරනයක්. ඔය කාලේ තමා මේක උනේ.


මේක ඇවිල්ල අර පාවෙන කාලේ ඕනි කුණු ගොඩකට වලියකට " යමන් මචන් " කියල ඔලුව දාන කාලේ සීන් එකක්....


මම මගෙ යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලෙ මූ කිවා

" මචන් අද රෑ wedding එකකට යන්න ඔනෙ උබත් යමන් "


 කියල. මම බැලුව යකෝ එහෙම යනවද වෙඩින් වලට.. ප්ලේට් ගානට කාර්ඩ් ගහල අන්තිම සතේට ගනන් හදල නෙව දැන් වෙඩින් වලට යන්නේ.... 


" යකෝ එහෙම යනවද බන් wedding  වලට invitation නැතුව... "



" උබට invitation දෙන්න පිස්සුද බන් උන්ට... අවුලක්  නෑ උඹ වරෙන්කො... මම නේ  කියන්නේ  "


දැන් බඳින්නේ කෙල්ලෙක් ද කොල්ලෙක්ද බඳින එකා කලුද සුදුද කියලවත් මම දන්නෙ නෑ... මටත් ඉතින් මොකෝ අතින් පයින් යනව කියලය...


ඉතින් ඕනි මගුලක් කියල මාත් උගෙ කිට් එකක් දාගෙන ලාස්ති උනා.

මූට තිබ්බ අර වැලි අදින ජාතියෙ canter එකක්... ඕක තමයි ඉතින් වාහනේ දුකට සැපට ඕනි දේකට තිබ්බ.... පිස්සු සීන් එක කියන්නෙ මූ වෙඩින් එකට යන්න ගත්තෙත් මේ වාහනේ.... තියෙන එකේ නොයා ඉතින් පාරෙ බස් එකේ යන්නය...  අමුතුවෙන් කියන්න ඕනි නෑනේ...  ඕක ඇවිල්ල බර වාහනයක්.. ඒ කියන්නේ බර වාහන ලයිසන් ඕනි එලවන්න.


අවුලක් නෑ පොර එලවනව මම වාඩි වෙලා යනවා... ඉතින් ගියා. මාලබේ තමා wedding එක තිබුනෙ. මුගෙ ගෙවල් පිලියන්දල.
වෙඩින් එක කිව්වට ඇත්තටම වෙඩින් එක ඉවරයි. එදා රෑ ඒ  බැඳපු එකාගේ යාළුවන්ට පාටි අංශයක්. ඒකයි පොරත් අවුලක් නෑ යමන් කියල මාවත් එක්කන් ආවෙ. 



ඉතින් ගිය වෙලේ ඉදන් බීමක් තිබුනෙ. අපරාදෙ කියන්න බැ එහෙම බයිට් variety එකක් නම් මං අද මේ වෙනකල් දැකල නෑ. චිකන්, ඉස්සො, දැල්ලො, පෝර්ක්, බීෆ් ඔක්කොම ඩෙවෙල් ද නා නා ප්‍රකාර විදියට හදලා... තව කන්කුන් ඩෙවෙල්... වෙජිටේරියන් අයට එහෙම... බොන්න තිබ්බෙ නම් ලෝකල් තමයි... ඒත් හොඳ variety එකක් තිබ්බ.


කුඩු වෙන්න... නන්නත්තාර වෙන්න වැදුන දෙන්නටම. ‍අපිට විතරක් නෙමෙයි එතන හිටි උන්ගෙන් 90 % අවුට්... ඒ මදිවට සමහර එව්වො බෝතල් සාක්කුවෙ දාගන්නව... ඉනේ ගහ ගන්නව... මඟුල් ගෙදර උනුත් අනේ පිනට දුන්න කියල හිතාගෙනද මන්ද ඇස් වහගෙන ඉන්නව නොදැක්ක සේ... ( බැඳපු ඩයල් එක පිට කොටුවෙ බිස්නස් කරන පොරක්.. ඉතින් ඇවිත් තිබ්බෙත් අමුතුම ඩයල් ටිකක්... )

යාලුව නම් ෆුල් අවුට් සීන් එකක්. අපි බීල හින්දද මන්ද මට නම් පෙනුනේ මනමාලයත් ශොට් එකක් වත් දාල කියල... අනේ මන්ද... කොහොම හරි බත් ඩිංගිත්තකුත් කාල ඩෙසර්ට් නම් කන්න බෑ බෑ වගේ නිසා ඒකත් එපා කියල අපි ආව ගෙදර යන්න... ඉතින් ගෙදර යන්නත් එපයි.


කව්ද යකො අර කැන්ටර් තඩිය එලවන්නේ.. මට බර වාහන ලයිසනුත් නෑ... අනික පාර දන්නෙ ත් නෑ... ( ඔය කාලේ මම මාලබේ ඉදන් පිලියන්දලට යන්න දන්නෙ නෑ.. )..


‍ඒත් ගෙදර යන්න ඕනි නිසාත්... බීපුවගේ ශක්තිය නිසාත්... අරූවත් අමාරුවෙන් අරන් කන්ටෙර් එකට දාගෙන ( වටේ බේබද්දන්ගේ උපකාරයෙන් )  එවෙලේ බුදු ෆිට් උනු සෙට් එකට එන්නම් කියල ආව. මනමාලයට කිව්වද මතකත් නෑ...


මට ඉතින් බර වාහන ලයිසන් නැති උනාට අරූගේ බර වාහන ලයිසන් එකට වඩා මගේ කාර් ලයිසන් එකට හොඳ තත්වෙ තිබ්බා... ඌට සාපෙක්ශව...

අනික් අවුල මන් පාර දන්නෙ නෑ. ලාවට මතකයක් තිබ්බට එවෙලේ තිබ්බ තත්වෙ අනුව පාර පුරා සීන් එකක් නේ.

ඒ හින්ද ඔන්න පාරට දාගෙන එන්න ආව කියමුකො....

" ඒ ඔහොම නවත්තපන්... "

" ඇයි ? "

" මට චූ බරයි... නවත්තපන්... "

අවශ්‍ය්තාවකනේ... අනික කාගෙන් තහනමක්ද... ඒ කාලේ චූ කරනවට නීති තිබ්බෙත් නෑ මයෙ හිතේ.. ගැහුව බ්‍රේක් පාරක් පාර මැදම.. ( අතුරු පාරෙ මේ තාම ඉන්නේ ).. වාහනේ පාර මැදම තියල දෙන්නම බැහල චූ ත් කරා...

හරි දැන් ඔන්න යනවා... අවුල ඉතින් මම පාර දන්නෙ නෑ... මතකෙන් යන්නේ.. මට මතක විදියට මාලබෙන් අතුරුගිරිය පැත්තට දාල කොට්ටාව - මාලබේ බස් යන පාරේ ගියේ...

" ඒ මචන් හරිද... "

" හරි හරි පාර හරි උබ යමන්කො.. "

කොහොම හරි ඉතින් ආව එහෙන් මෙහෙන් දාගෙන. අරූ ගෙන් අහන අහන පාරට හරි හරි යන් කියනව උට පාර තියා මාව පේන පාටකුත් නෑ.




ජනාධිපතිවරන කාලේ නේ ඉතින් පොලෝසියේ අන්කල්ල ( ඒ කාලේ අන්කල්ල.. දැන් අයියල උනාට ) ලා හම තැනම... ඉතින් ඔහොම යන ගමන්... කොයි හරියෙදිද මන්ද දැම්මනේ අත එකෙක්...


බීපු වෙරි ටික සූ ගාල දාදිය පාරකින්ම වාශ්ප වුනා... දැන් මොකැයි කොරන්නේ... අතත් සුට්ටක් විතර වෙව්ලනවා...

" ඇයි නැවත්තුවෙ " ඒ අස්සෙ අරූ අහනවා... ඌ ඇස් දෙකත් පියාගෙන කනත් සක්කුවෙ දාගෙන.. ඒත් නිදි නෑ...

" පොලිසියෙන් බන්.. අත දැම්ම.. "


" අනේ ඕකුන්ට හුන්නස්ගිරිය ( අබේපාල මාමගෙන් ඉස්සුවෙ ) කියල යමන් බන්... "  

මගේ තිබ්බ වෙරිත් බැස්ස... ඇයි දෙයියනේ ඒක ඇහුනනම් අපි දෙන්නට පාර මැද තියල හුන්නස්ගිරි කන්ද නග්ගනව ආයේ හෝදන්න දෙයක් නෑ...

ඉතින් එක අන්කල් කෙනෙක් ඇවිල්ල දැම්ම ඔලුව...

" මල්ලි පොඩ්ඩක් ලයිසන් ඉන්ශූරන්ස් අරන් බැහල එනවද "


මාත් ඉතින් කලබලෙම මගේ ලයිසන් එකයි ඉන්ශූරන්ස් කොලෙයි අරන් බැහල ගියා...

තව එකෙක් එතන පොතකුත් තියන් ලියනව. මම කට වහගෙන ගිය පොර ගාවට... ඇයි දෙවියනේ සංසාරෙ හුරු පුරුදු සුවඳ වත් දැනුනොත් ඉවරනේ...


" කෝ... දෙන්න.. " මම ලයිසන් එක අතේ තියාගෙන ඉන්ශූරන්ස් කොලේ දුන්නා... වැරදිලවත් ලයිසන් එක බැලුවොත් ලොරි ලයිසන් නෑ කියල මාට්ටු වෙයි කියල..

" මේ ඉන්නේ තමුසෙ නෙමෙයි නේ... ? "

හත්දෙවියනේ උගේ අතේ ලයිසන් එකක්.. මූන පුරා රැවුල වවපු ඩයල් එකකගේ.. මම නෙමෙයි නේන්නම්.... ටක් ගාල මීටරේට වැටුනා.. අරූගේ ලයිසන් එකත් ඉන්ශූරන්ස් කොලේ ඇතුලේ...

" සර් ඔය අර අනික් එක්කෙනාගෙ... එයාගෙ වාහනේ.. "

" කෝ තමුසෙගේ ලයිසන් එක... ? "

" අහ් මෙන්න සර්... "

 මමත් අතේ තිබ්බ ලයිසන් එක දුන්න ගැහි ගැහි..

පොරත් ලයිට් එලියට අල්ල අල්ල බල බල පොතේ මොනවද ලියනව..

" කොහෙද යන්නේ... ? කොහේ ඉදන්ද එන්නේ... ගියේ මොකටද ? "  ආදී ප්‍රශ්න සැට් එකකුත් ඇහුව.. මමත් ඈතින් ඉදගෙන බොහොම අමාරුවෙන් කට වහගෙන වගේ උත්තර දුන්න.. ඇයි දෙවියනේ සුවන්නදක් වත් ආවොත්... බඩු නේ... පොර විස්තර ටික ලියාගෙන මට කොල ටිකයි ලයිසන් එකයි දීල...


" හරි යන්න.. "

දැන් මටත් සීන් එක අවුල්.. දඩේකුත් නෑ... කරපු වැරද්දකුත් නෑ... හිතේ අවුලට මමත්..

" සර් විස්තර ටික ගත්තෙ ? "

" අහ් මේ පාරේ යන වාහන වල ඩීටේල්ස් ගන්නව.. මැතිවරන කාලෙනේ ඕයි.. "

මම ඌටත් හිනාවක් දාල වාහනේට නැග්ග...

" මොන හුන්නස්ගිරියක්ද උන් කියන්නේ... මම කතා කරන්නද ? "

මූ ට පිස්සුද මන්ද... කෙලින් ඉන්න බැරි එකා බැස්සොත් වැරදිලාවත්... මම සිං ගාල එතනින් කැපුනා..


පුදුම වාසනවක් තිබිල එතනින් බේරුනේ... උන්ට සීන් එක තෙරුනානම් ඇපත් නෑ... ඉතින් කොහොම හරි     "මහරගමට " හරි " කොට්ටවට " හරි ආව... මට මතක විදියට කොට්ටාව වෙන්න ඕනි... ඔය දෙකින් එකක්... ඇවිල්ල දැන් හරවන්න ඕනිනෙ හයිලෙවල් රෝඩ් එකට... මට මතක විදියට මම වමට හරවලා දැන් කෙලගෙන යනවා මහරගම බලා... මගේ මීටරේට අනුව ඔහොම ගියහම මහරගම හම්බෙන්න ඕනි... එතකොට පාර දන්නවනේ...

යනව යනව මහරගම නෑ.. ඔහොම යද්දි " මන්චි " එක තියෙනව ඉස්සරහ...
මට තේරුනා මොකක් හරි අවුලක් කියල...

 " මචන් පාර වැරදියි වගේ නේ "

 " ඇයි උබ දන්නෙ නැද්ද ?  "

ඇයි දෙයියනේ මූට මම කී පාරක් කිව්වද පාර කියපන් කියල...

" නෑ යකෝ... "

" ඉතින් මේ යන පාර වැරදිනේ... අනිත් පැත්තට නෙ යන්න ඕනි. "

මූ ඉදන් කියපි...

" ඉතින් උබ නොකිව්වෙ ? "

" මම හිතුවේ උබ වෙන හුන්නස්ගිරියක යනව කියල .. "

අනේ ඉතින් කාට කියන්නද...

දැන් එහෙම කියල හරවන්නෙත් නැතුව යනව ඌත් එක්ක වාද කර කර... තවත් සෑහෙන ටික දුරක් ගිහින් හයිලෙවල් එකේයූ ටර්න් එකක් දාල මහරගම හරහ ගෙදර ආව අතක් පයක් කඩා ගන්නෙ නැතුව දෙයියනේ කියල...

එදායින් පස්සෙ මම නෙමෙයි ඔය ගානට බීල වාහන එලවන්නේ...



අහ් මේ යාළුවා වෙන කවුරුත් නෙමෙයි අර එපා ම උනු මත්පැන් බීමක් එකේ පොරම තමයි.. ඒ ලිපියේ සිංහල නම් අන්තිමයි. බ්ලොග් එක පටන් ගත්තු අලුත නිසා උනිකෝඩ් ටයිප් කරල තියෙන්නේ දෙමළ වගේ.. හික් හික්...


අබේපාල මාමගේ හුන්නස්ගිරි කතාව මෙතනින්.


බේබදු කතා බලනවනම් මෙන්න...


පොලිස් කතා මෙතනින් බලන්න පුලුවන්....

පින්තූර ජංජාලයෙනි.

පිස්සගේ අවවාදය : මත් වතුර පානය ශරීරයට අහිතකර විය හැකිය.
Related Posts with Thumbnails