Thursday, November 17, 2011

සුදු රෙද්දේ ගෑවෙන ලේ පැල්ලමෙන් මනින කන්‍යාභාවය...

Share


බ්ලොග් එකේ මෙතෙක් ලියවුනාට වඩා වෙනස් ලිපියක් තමයි අද ලියවෙන්නේ... සංවාදයට විවෘතයි.... 

මේ කතා දෙකම මගේ කනට වැටුනු කතා... මිතුරෙක්ගෙ මිතුරෙක් සහ මිතුරියක් තමයි නායික නායිකාවන්...


ඇය උසස් අධ්‍යාපනය ලබන යුවතියක්... ගමේ පාසල් යන කාලේ තරුණයෙක් එක්ක පෙමින් බැඳෙන ඇය කාලයක් යද්දි මේ තරුණයාගේ නොදුටු පැත්ත දකිනවා. ඔහු මත් ද්‍රව්‍ය වලට තදින් නැඹුරු උනු... රස්තියාදු කාර යාළුවො රොත්තක් වට කරගත් කෙනෙක්... අයථා සම්බන්ද එහෙමත් ඔහුගේ ලෝකයේ තිබිල තියෙනවා. ඉතින් මේ තරුණිය එම සම්බන්දයට තිත තියනවා. ඒ පාසල් කාලයේදිමයි. පසුව ඈ නගරයට එන්නේ උසස් අධ්‍යපනය සඳහා... කාලය ගත උනත් අර තරුණයාගේ තර්ජන වලින් අඩුවක් නෑ.


" මම උඹව කොහොම හරි බඳිනවා "  කියන තැන තමයි ඔහු සිටියේ...


මේ අතර මෙතනට සම්බන්ද වෙනවා තුන් වැන්නෙක්. අපි ඔහුට සුජිත් කියමු... සුජිතුත් මේ තරුණියත් අතර සම්බන්දයක් ඇති වෙනවා.


මේ අතර නිවාඩුවට ගමේ ගිය වෙලාවකදි අර ගමේ තරුණයා විසින් අර තරුණියව පැහරගෙන යනවා. දිනක් රඳවා ගැනීමෙන් පසු ඇය නිදහස් කරන ඔහුගේ එකම බලාපොරොත්තුව උනේ අර තරුණිය විවාහ කර ගැනීම. දිනක් රඳවා ගත්තත් කිසිම කරදරයක් නොකර තමයි තරුණියව නිදහස් කරන්නේ...


මේ සිදුවීම් දැන ගැනීමෙන් පසු සුජිත් හෙවත් වර්තමාන පෙම්වතා මේ තරුණියගෙන් ඈත් වෙන්න තීරනය කරන්නේ ඔහුගේ වචන වලින් " ලෙඩකට කර ගහන්න බැරි කමට ".

කාලයක් ගත වෙද්දි සුජිත් හා තරුණිය අතර සම්බන්ධය නැවත දලු ලනවා... ඒ අතර ගමේ වසවර්ති තරුණයා බලාපොරොත්තු අත හැර ගන්නෙ නෑ... නගරයට පැමිනෙන ඔහු දිනක් ඇයව පැහරගන්නවා... ඇගේ දෙමව්පියන්ට මරණ තර්ජන කරමින්.. ඇයට පහර දෙමින් ඔහු ඇයට බලකර සිටිනවා ඔහු සමඟ විවාහ වන්නට... දෙමව්පියන් ගැන ඇති බයටම ඇය ඔහු ගේ ඉල්ලීමට එකඟ වෙනවා...

කිසිත් සිදු නොවූ විලසට විවාහ රෙජිස්ටාර් කෙනෙක් ඉදිරිපිටදී ඇයට පොතේ අත්සන් කර එම තරුණයාගේ නීත්‍යානුකූල භාර්යාව බවට පත් වෙන්නට සිදු වෙනවා.

නැවත ඇය නගරයේ අත හැර දමන ඔහු ගමට යනවා...

පෙම්වතා වූ සුජිත් සමඟ පොලිසියට යන ඇය සිදුවීම පැමිනිලි කරනවා... එහි ප්‍රතිපලයක් ලෙස ගමේ තරුණයා පොලිස් අත්තඩංගුවට පත් වෙන අතර ඇයව වෛද්‍ය පරීක්ශනයක් සඳහා යොමු කෙරෙනවා. එහිදී ඔප්පු වෙනවා ඇයට කිසිම විදියක ලිංගික අතවරයක් සිදු වී නොමැති බවට.. සුජිත් ඇගේ පෙම්වතා... ඇය සමඟ සම්බන්ධය නවත්වන්නේ නැහ...

ඒත් විවාහයක් සිදුවී ඇති හෙයින් ඇය දික් කසාද වීමට නඩුවක් ගොනු කර තිබෙනවා.

අවසානයේ ඒ තරුණියගේ අතීතය දන්න සුජිත් ඇයව විවාහ කරගන්න කැමති වන හෙයින් කිසිම ප්‍රශ්නයක් ඇති වන්නේ නැහ...

ඒත්.... ඔව්.. සුජිත් ඒ සඳහා කැමති වන්නේ ඇයි ???

ඒ අර වෛද්‍ය පරීක්ශනයෙන් ලැබුන සහතිකය නිසා...  ඇය පිරිසිදු තරුණියක්... කන්‍යාවක් බව ඔප්පු වූ නිසා බව ඔබ පිලිගන්නවද... ඒත් සත්‍ය එයයි. ඇයට කරදරයක් වී තිබුනානම් ඔහු ඇයව පිලිගන්නෙ නෑ...

" ඔව්ව පස්සට ප්‍රශ්න වෙනවා.. වැරද්දක් වෙච්චි කෙල්ලෙක් ගෙන් වැඩක් නෑ.. ඒත් දැන් හිත සුද්දයි වෛද්‍ය වාර්තාව නිසා " ඒ ඔහුගේ වචන...


 ආදරය... විශ්වාසය...එකිනෙකා තේරුම් ගැනීම... ඒ සියල්ලටම උඩින් කන්‍යාවියක් වීම පෙරට ඇවිත්.... සුදු රෙද්දෙ ලේ පැල්ලම නැති උනොත් මඟුල හබක් ඒ තියරිය අනුව.... 


කතා අංක දෙක....

ඇය කරන රැකියාවට අනුව ඇයට රට පුරා විතරක් නෙමෙයි සමහර විට රටින් පිටත් ඇවිදින්නට සිදුවනවා... ඒ හැම ගමනකට ඇය සහභාගී වන්නේ මැදිවියේ සිටි ඇගේ " බොස් " සමඟින්. මේ දෙදෙනා අතර තිබූ සම්බන්ධය " බොස් " ගෙන් එහා ගියපු සම්බන්ධයක් කියා බොහෝ දෙනා අතර සැකයක් තිබුනා.. සැකයක්.. එහෙමත් නැත්තම් කට කතාවක්... මිසක් ඔප්පු වූ දෙයක් නොවේ..

කාලයකට පසු ඇය තරුණයෙක් එක්ක පෙම් සබඳතාවක් ඇති කරගන්නවා. කට කතාවලට අනුව " බොස් " මේ ගැන තදින් උරණ වෙනවා... හේතු කිහිපයක් මත ඇයටත් ඔහුටත් සිදුවන්නේ හඳ පානේ පැන යන්නට.

ඔවුන් මධු සමය ගත කරන්නේ තරුණියගේ හිතවතියකගේ නිවසක. පසු දින උදේ තරුණියගේ රාත්‍රී ගවුමේ තිබූ ලේ පැල්ලම දකින් තරුණයා ප්‍රීතියෙන් පිනා ගොස් ඇයව බදාගන්නවා... තරුණයාට සතුටුයි.. කට කතා බොරුවක්... ඒත් දෙවන දිනයේත් එය එසේම සිදු වෙනවා...


එම නිවස හිමි වැඩිහිටි හිතවතිය " සමහර ගෑනු ළමයින්ට එහෙම වෙනවා " කියමින් ඔවුන් සනසවනවා.

සියල්ල හොඳින්... තරුණිය කන්‍යාවක් වීම නිසා තරුණයාත් සතුටින්..

" එයා සතුටින් නේ.. බලාපොරොත්තු වෙන්නේ ඕකනේ කොල්ලො.. ඒ දේ දෙන්න අපි දැන ගන්න ඕනි.. ඒකට ක්‍රම තියෙනවා.. " ඒ ඇගේ වචන...

ඇය ඇත්තටම ඊට පෙර ලිංගිකව වෙන කෙනෙක් එක්ක හැසිරී තිබුනාද නැද්ද ඔප්පු නොවුනත් ඇගේ වදන් යමක් කියාපානවා යැයි සිතෙනවා... මටත් මේ කතාව හෙලි කල මිතුරාටත්.. 


 සැකය හරි නම්... තරුණියක් විදියට ඇය  ආදරය... විශ්වාසය...එකිනෙකා තේරුම් ගැනීම... ඒ සියල්ලටම උඩින් කන්‍යාවියක් වීම ට මුල් තැන දෙන සමාජයට වංචා සහගතව හරි ඕනි කරන උත්තරේ දීලා... ඇගේ අනාගතය වෙනුවෙන්... හඳපානේ ගිහිල්ලත් ලේ පැල්ලමක් නැති වීම නිසා මඟුල හබක් කර ගැනීමට වඩා එයට වංචාවක් කිරීම සුදුසු යැයි ඇයට හැඟෙන්න ඇති...

මේ ලිපියට මෙන්න මේ කරුණු ටිකත් මම යොදා ගන්නම්...


කාන්තාවන්ගේ කන්‍යා භාවය යලි සකසන්න ( hymen repair surgery ) සැත්කමක් තියෙනවා වගේම ඒ සඳහා පහසුකම් ලංකාවෙත් තියෙනවා යැයි කොහේදී හෝ මා කියෙව්වා මතකයි...

සිද්දිය පොඩි මෑන් ගේ වචන වලින් " ඉස්සරහ දොරෙන් ඇතුළු නොවී පස්සෙ දොරින් ඇතුල් වුනා නම් " හේමලය කියන විදියට " මල නොතල රොන් ගත්ත නම් " සෙකන්ඩ් නෙමෙයි කීවෙනි හෑන්ඩ් උනත් මොන දහ අට සන්නිය නටල ඇවිත් තිබුනත් බඳින එකාට ඒ කෙල්ල කන්‍යවියක්... කවුද රැවටෙන්නෙ ??

උත්පත්තියෙන් වූ පිහිටීමක් නිසා හෝ.. යම් යම් වෙනත් හේතු නිසා සමහර තරුණියන්ගේ පළමු එක් වීමේදී ඔය ආකරයෙන් ලේ පිටවීමක් නොවෙන බව මම අසා තියෙනවා. එතකොට ඒ තරුණිය කන්‍යාවියක් නෙමෙයිද ?  දික් කසාඳ කල යුතුද... ??



පහු ගිය කාලේ අහන්න දකින්න ලැබුනු ආකරයේ සිද්දි... කුඩා කාලයේදී කාමතුරයෙක් අතින් දූශනය වූ තරුණියක් නම් ඇයට සිදුවන්නේ කුමක්ද ලේ පැල්ලම් බලාපොරොත්තු වන මේ සමාජයේ.. ?? 

එලකිරියේ මේ ගැන ඇති වූ කතා බහකදි 425 දෙනෙක් ගේ අදහස් එක්ක මම් මේ ලිපිය නවත්තන්නම්...


ඔබේ අනාගත බිරිඳ කන්‍යාවියක් විය යුතුද ? ( click on the image to zoom )



මෙතනදි කන්‍යාවියක් යන්නෙන් අදහස් වුනේ පිරිමියෙක් සමඟ ලිංගිකව එක් නොවූ කෙනෙක් කියන එක... එතකොට පිරිමියෙක් ට නම් ඒකේ අනික් පැත්ත.. ගැහණියක් සමඟ ලිංගිකව එක් නොවූ කියන එක...... 

 58 % ක් ඒ කියන්නේ තවමත් කන්‍යාවියක් බලාපොරොත්තු වෙනවා... ඒ අතරම 8% ක් මීට කලින් ගෑනු එක්ක බුදියෑව කියන එක පිළිගෙනත් තවමත් අනාගත බිරිඳ කන්‍යාවියක් විය යුතුය කියන මතයේ ඉන්නවා...

 ප. ලි : ලිපියේ මගේ අදහස මේ ගැන නොකියවෙනවා නම්... මෙන්න...

"" ලේ පාර බලන්න ඕනිම නම් බැඳපු දා රෑට උල් පිහියක් අරන් ගිහින් ඇනපන් ගෑනිට...  ""

සංවාදට විවෘතයි... ඈනෝනිමස් උනත් කමක් නෑ අදහස් දක්වන්න.... කුනුහරුප නැතුව.

නම් ගම් සියල්ල මනංකල්පිතයි.

Tuesday, November 15, 2011

නිල්ලේගම සීයාගේ කුකුල් බිල්ල....

Share


කී බෝර්ඩ් එක බදාගෙන ලාරා ක්‍රොෆ්ට් එක්ක මාරන්තික සටනක නියලෙද්දි තමයි තාත්ත කාමරේට ඔලුව දැම්මෙ...


" පුතාට අදයි හෙටයි වැඩ මොකුත් තියෙද ? "



" වැඩක් නම් නෑ.. ඇයි තාත්තෙ ? "



" අර නිල්ලේගම සීයට පූජාවක් තියෙනවලු අද රෑට.. වාහනේ ඉල්ලගන්න පුලුවන්ද ඇහුව.. "



" ගහෙන් ගෙඩි එන්න වගේ.. " මටත් පොඩ්ඩක් තද උනා... අද ඕනි එක අද කියන්නේ...



" නෑ අර සමන් එක්කනෙ එයාගෙ ගමන්.. සමන් ගෙ වෑන් එක කැඩිලු...ඒකයි... "



" අතින් කයිට් ද... "



" නෑ මනුස්සයො සල්ලි දෙයි.... " කියාගෙන තාත්ත එලියට ගියා...


හයර් එකෙන් ගානක් අතට එනවනම් මොකද.. මාත් කීව වෙලාවට නිල්ලේගම සීයලගෙ ගෙදරට ගියා...


නිල්ලේගම සීය යකදුරෙක් නම් නෙමෙයි.. ආන්ඩුවෙ හොඳ රස්සාවක් කරල මේ වෙද්දි විශ්‍රාමිකව ඉන්නෙ..  ඒ කාලෙ ඔය නැකත් බලන්න.. කේන්දර බලන්න.. ගෙවල් වල දෝශ බලන්න.. ඔය එක එක පූජා වලට එහෙම කට්ටිය ආව ගියා.. දෙන ගානක් ගන්නව මිසක් දන්න තරමින් සල්ලි වෙනුවෙන් නෙමෙයි වැඩ කරේ.


නිල්ලෙගම සීයලගෙ ගෙදරින් අඩුම කුඩුම ටිකකුත් වාහනේට දාගෙන අපි දවල් 2 කට විතර පිටත් උනා. නිල්ලේගම සීයට අමතරව තව වයස අවුරුදු 40 ක විතර හීන්දෑරි මනුස්සයෙකුත් මේ ගමනට එකත් උනා..


ගමන පුරාවටම වැඩි කථා බහක් ඇති උනේ නෑ... මම වගේම සීයත්.. ගෝලයත් නිහඬ චරිත නිසා වෙන්න ඇති...  පැය 3 ක විතර ගමනකින් පස්සෙ ප්‍රධාන පාරක් අයිනේ තිබුන පරණ පහේ ලොකු ගෙයක් පෙන්නල...


" ඔන්න ඕක තමයි ගෙදර.. ඉස්සරහින් නවත්තමු... " ඒ සීයගේ අණ...


පාරටම අල්ලල හදපු සොල්දර ගෙයක්... ලඟදි පාර ලොකු කරන වෙලාවෙ ගෙයි ඉස්සරහ කොටසක් කැඩිලා.. පටු ඉස්තොප්පුවක් විතරයි ගේ ඉස්සරහට ඉතුරු වෙලා තිබුනේ... පාරට කැඩුනට පස්සෙ හදල තිබුන කොට තාප්පයකුත් එක්ක තිබුන පොඩි ගේට්ටුව වාහනයක් ඇතුලට ගන්න තරම් ප්‍රමානවත් නෑ...


" අහ් මම මේ පරක්කු මොකද බැලුව... එමු එමු... ඩ්‍රයිවර් මහත්තයත් එමු.. " අවුරුදු 60 ක පමන වයසක පසු උන බොහෝම පිලිවෙලට හැඳ පැලද සිටි මහත්තයෙක් ගේට්ටුවෙන් එබෙමින් කතා කලා...


මමත් කට්ටිය පස්සෙන් ගෙට ඇතුල් උනා... දුර්වර්ණ උන පිත්තල බඩු.. පැරැණි විශාල කවිච්චියක්... පැරැණි විලාසිතාවෙ වේවැල් පුටු කිහිපයක්...එක්ක තිබුන වටපිටාව මට කියා පෑවෙ නාට්ටි වල පෙන්නන විදියෙ වසර ගානකට කලින් උජාරුවට තිබුන වලව්වක්...


මගේ හිතට මොකක්දෝ මන්ද නාඳුනන බයක් දැනුනේ ගේ ඇතුලෙ තිබ්බ පාළු ගතියටද... වටපිටාවටද කියන්න මම දන්නෙ නෑ... ඒ වට පිටාව විස්තර කරන්න මට තේරෙන්නෙත් නෑ...


ඇහ පොඩ්ඩක් හරවද්දි බිත්තියේ එල්ලල තිබ්බ විශාල චායරූප දෙකක් මගේ ඇහ ගැටුනා.. එකක් අශ්වයෙක් පිට නැගුන යුද හමුදා නිලධාරියෙක්... ඉංග්‍රීසි හමුදාවෙ නිලධාරියෙක් කියල මට හිතුනේ පින්තූරෙ තිබ්බ පරණ ගතිය නිසා... අනික ඇඳපු පින්තූරයක්... චිත්‍රයක්...  වංශවත් උඩරට මැණිකෙ කෙනෙක් ගෙ පින්තූරයක් හිතට ගන්නකො... අන්න ඒ වගේ... කිසිම හිනාවක් නොතිබුන ඒ පින්තූරයේ හිටි ගැහණු කෙනාගෙන් දිස් උනේ නපුරු පාටක්... ඒ දිහා වැඩි වෙලාවක් මම බලන් හිටියෙ නෑ.. ඒත් මට තාමත් මතකයි... 


දීපු තේ එක බීල මම පුටුවක් වාඩි වෙලා පත්තරයක් කියව කියව හිටියේ නිල්ලේගම සීයත් අර ගෝලයත් ගෙයි ඇතුලේ පූජාවට ලෑස්ති වෙන නිසා... ඇස් දෙක පත්තරේ තිබ්බත් හිත නා නා ප්‍රකාර මනෝ ලෝක වල... ගැහණු කටහඬවල් කීපයක් ඇහුනත් අර මුලින්ම දැකපු මහත්තය ඇරෙන්න ගෙයි කිසිම කෙනෙක් මම ඒ වෙනකල් දැක්කෙ නෑ...


" පුතා පුළුවන්ද පොඩි හෑන්ඩ් එකක් දෙන්න... "


ඒ අර මහත්තයා...


" පුළුවන් අන්කල්.. මොකක්ද.. "



" මේ බඩු වගයක් තියෙනව පූජාවට ඕනි කරන... සොල්දරේ උඩ.. තනියම ගේන්න අමාරුයි... "


මම එන්නම් අන්කල්..


කියමින් මම අන්කල් ගෙ පස්සෙන් ගියා..


ලෑලි පඩි පෙලක් තිබ්බෙ සොල්දරේට යන්න..


භාගයක් දුර නගින කොට මගේ ඇඟම හිරි වැටිලා..  ඒ ගේ ඇතුලට ආවට පස්සෙ තිබුන නාඳුනන බය ... පඩි පෙලේ ලී වලින් එන සද්දෙ ඒ බය දෙගුණ කලා...


ටිකකින් අපි සොල්දරේ උඩ... .ඒක දූවිල්ලෙන් වැහුන නා නා ප්‍රකාර ලී බඩු.. පිත්තල බඩු.. වලින් පිරිලා... අන්කල් අතේ තිබ්බ ටෝච් එලියට පේන දෙයක් ඇරුනම තිත්ත කළුවරයි..


" ලයිට් එකක් නෑ පුතා මේ කෑල්ලට... ඕනි බඩු ටික ගත්ත දවල්ම.. ඒත් අමතක වෙලා බඩු වගයක්.. "


කියමින් අන්කල් ටෝච් එකක් අරන් අර බඩු අස්සෙ ඔට්ටු වෙනවා...


පත්තර කොළ වලින් ඔතපු මොකක්දෝ පාර්සලයකුයි කනප්පුවකුයි අරගෙන අපි සොල්දරේට සමු දුන්නා... විනාඩියක් ගෙවෙන්න ඇති... මට නම් පැයක් විතර...


කනප්පුව නිල්ලේගම සීය පූජාව ලෑස්ති කරන තැන තියපු මම ඊලඟ මොහොතේ හිටියේ වාහනේ ඇතුලේ...

පැයක් විතර වාහන එහාට මෙහාට යන පාර අයිනේ හිටි මම ගේ දිහාට ගියේ තව දුරටත් කන ගාවින් විදගෙන යන ලේලන්ඩ් සද්දෙ ඉවසගන්න බැරි කමටත් වඩා මුත්‍රාශය පැලෙන්න වගේ තිබ්බ මුත්‍රා බරෙන් නිදහස් වෙන්න ඕනි කමට....

ගෙට ඇතුල් නොවී මම අයින දිගේ ගේ පිටිපැස්ස පැත්තට ගියේ වැසිකිලියක් හොයා ගෙන.. මොනවදෝ මන්තර වගේ ජාතියක් ඇහෙනවා ගේ ඇතුලින්.. ගාථාවක්ද මන්ද... සිංහල නෙමෙයි... මොන වැසිකිලිද... කෙහෙල් පඳුරක් ගාව මම මගේ බර නිදහස් කරගත්තා...

පාරෙ තිබ්බ කාර්ය බහුල කම නිසා මගේ හිතේ තිබ්බ බය අඩු වෙලා තිබ්බේ.. සද්දෙ ඇහෙන දිහාට ගිය මම ජනේලෙකින් ඔලුව දැම්ම...

පූජාවට පහන් පත්තු කරල.. මල් එහෙම තියල.. මොනවදො කියවනව... මම ගේ ඉස්සරහ තිබ්බ පටු ඉස්තොප්පුවෙ තිබ්බ පුටුවකින් වාඩි උනා.. පාර අයිනේ නිසා වාහන යනවා... අර තිබ්බ පාළු මූසල ගතිය නෑ.... වෙලාවක් යන්න ඇති.. ඇතුලින් හිමිහිට ඇහුන සද්දෙ වැඩි උන... සිහි විකල්ලෙන් කෑ මොර තියන සද්දෙකුත් ආව නිසා මම ඔලුව දැම්ම ඒ දිහාට...

මම බිරන්තට්ටු උනා...

සොල්දරේට යන පඩි පෙල ට එහා පැත්තෙ තිබුන විශාල කෑම මේසයක්.. ඒ මේසෙ ගාව බිම වැටිල සිහි විකලෙන් දගල දගල හිටියේ අර අපිත් එක්ක ආව කෙසඟ මනුස්සය... මොනවදො කියෙව්වා... මට ඒ එක වචනයක් වත් මතක නෑ..

නිල්ලේගම සීයා මොනවදො කිව්ව... ටික වෙලාවකින් දගලමින් නැගිට්ට අර මනුස්සය අතට සීයා කුකුලෙක් දුන්නා... කුකුල කෑමොර දෙනවා... තව මොනවදො කියෙව්ව.. අර කුකුලගෙ බෙල්ලෙන් අල්ලගෙන...

ඔව් මම දැක්ක.. සහතිකයි.. ඒ මනුස්සය අර කුකුලගෙ බෙල්ල හපා කෑව... අර පන ගැහෙන කුකලගෙ බෙල්ල හපා කෑව... කුකුල් ලේ කට පුරා වැක්කෙරෙනවා...

ඒ එක්කම මට දැනුනෙ මහා පිළුනු ගඳක්... කුණු ගඳක්... තව දුරටත් ඒ දර්ශනේ බලන් ඉන්න මට පුළුවන් කමක් උනේ නෑ.... ඒ ගඳත් එක්ක හුස්ම තද කරගත්තු මම හුස්ම ටික පහතට ඇරියේ මහ පාරට ඇවිල්ල... 


යාන්තමට ඇරල තිබ්බ වීදුරුවත් වහල දාල මම වාහෙනේ දොරවල් ටිකත් ලොක් කරල දාල ඇතුලට වෙලා ටික වෙලාවක් හයියෙන් හුස්ම ගත්තා... මම මොකක්ද දැක්කේ කියල හිතා ගන්න බැරුව... සෑහෙන වෙලාවක් මම හිටියා... ඇස් දෙක යාන්තමට පියවීගෙන එද්දි මම ගැස්සිල ඇහරුනේ වීදුරුවට දාපු තට්ටුවකින්...

ඒ අර පාළු ගෙදර අන්කල්..

මම යාන්තමට වීදුරුව ඇරියා..

" පුතා පූජාව නම් ඉවරයි... මොනා හරි කාල තේ එකක් බොන්න එන්න... "

තේ බොන්න... අර ගේ ඇතුලට යන්න.. ඒත් අර මනුස්සය බලන් ඉන්නවනේ..  මම ගියා..

තේ බීල ඉවර උනහම අපි එන්න ලෑස්ති උනා..

" මේව කරාට පස්සෙ වැඩිය රැදෙන්න හොඳ නෑ මහත්තයෝ... "


 කියමින් එදා රෑ ඉදල යන්න කල ආරධනාව නිල්ලේගම සීය ප්‍රතික්ශේප කර වෙලාවේ උන්දැගෙ කකුල් දෙක අල්ලල වදින්න හිතුන මට.. අපි රෑ 2 ට විතර පිටත් උනා...

පිටත් වෙන්න කලින් අර අන්කල් ඇවිල්ල මගෙන් වාහනේ හයර් එක කීයද අහල ඒ ගාන සාක්කුවට දැම්ම...

පාර පාළු නිසා මමත් ඇරල ආව.. ඒත් අර කුණු ගඳ වාහනේ ඇතුලටත් ඇවිත්... වීදුරු ඔක්කොම ඇරගෙන ආවත් ඒ ගඳ මගේ නාහෙට එනවා... නිල්ලේගම සීයවයි අර මනුස්සයවයි බස්සපු මම කෙලින්ම ගෙදර ගියා...  



කාටවත් ඇහරවන් නැතුව එලියෙ තිබ්බ වතුර මලෙන් නාගත්තු මම එලියෙ වැලේ තිබ්බ සරමකුයි කමිසෙකුයි ඇදෙගන වාහනේට නැග්ග ආයෙම... ඊලඟ නැවතුම මදාර සර්විස් එක. සර්විස් එක ඇරපු ගමන්ම වාහනේ හෝදවගත්ත දෙපාරක්ම... එතන හිටිය කොල්ලො දෙන්නට වැඩිපුරත් ගානක් දීලා... අර ගඳ යන්න එයා ෆ්‍රෙශ්නර් බෝතලයක්ම ගහන්න ඇති.... ම්ම්ම් හරි ඔය තියෙන්නේ...

ඒ සිදුවීම ඔලුවෙ හොල්මන් කරත් හයර් එකේ ගාන මට නිසා මම සතුටින් ගෙදර ආව...



ඒත් අර මනුස්සය කුකුලගෙ බෙල්ල කාපු හැටි.... කොහොම අමතක කරන්නද...  දවස් කීපයකින් මම නිල්ලේගම සීයාගෙන් ඔය ගැන ඇහුවා... සීය කියපු විස්තරේ අනුව...

අර හිටපු අන්කල්ගේ නෝනගේ මහ ගෙදර තමයි ඒ... ඒ පළාතේ හිටිය ප්‍රභූ පවුලක්... අර පින්තූරේ හිටපු නෝනා තමයි ඒ මහත්තයගේ නැන්දම්මා...නපුරු චරිතයක් ලු... ඒ කෙනාව තමයි අර මනුස්සයට වැහිල තියෙන්නේ.. ඔය කියන ගෑනු මනුස්සය මැරිල තියෙන්නේ පපුවෙ අමාරුවක් හැදිලා.. ඔය කෑම මේසෙ ගාවම බිම වැටිල ඉදල තමයි හම්බුවෙලා තියෙන්නේ...

" සීයා කියන්නේ ඒ මනුස්සයා ඔය ගෙදර හොල්මන් කරා කියලද.. ? "

" ඒයි ඇක්මොන් ඔය පුවක් ටික ගෙට දාපන්... "  කියමින් වත්ත දිහාවට ගිය නිල්ලේගම සීය ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑ...



ප. ලි :  නම් ගම්... පළාත්... හැරුනකොට සත්‍ය සිද්ධියකි...

Saturday, November 12, 2011

හුටා.... උපන්දින 2 ක්....

Share


එක් එක් කාල වලට එක එක ආකරයේ ලෙඩ බෝ වෙනවනේ... ජංජාලෙත් එහෙමයි.... පිස්සත් ජංජාලෙට සෙට් වෙලා නා නා ප්‍රකාර දේවල් වලට වහ වැටිල හිටිය එක් එක් කාල වල..

2004 දි විතර මාස ගානකින් නවත්තල දාපු කොම්පීතර ඩිග්‍රියක් කරන කාලෙ තමයි පිස්සා ජංජාලෙ ට මුලින්ම හුරු උනේ...

Gmail, Yahoo, Hotmail ආදී නා නා ප්‍රකාර ඊ ලියුම් අඩවි වලින් ඊ ලිපින හදාගෙන E mail Forward කරන එක තමයි ඒ කාලේ ලොකුම රාජකාරිය..
ඒ ඇරුනම Kaputa, Suntel Wow වගේ Chat රූම්ස් වල පැය ගනන් නාස්ති කරන්නත් පුරුදු වෙලා හිටියා..

ලංකාවෙන් ආවට පස්සෙ පාලුව තනිකම නසන්න ජංජාලෙ නියම ඔසුවක් උනා... ඒ කාලෙ Clublk, Elakiri, Lanka1st වගේ අඩවි වල රෑ දවල් නොබල Thread දාන එක...  රිප්ලයි කරන එක.. වැඩිහරියක් Topic එකෙන් පිට පැනල ස්පෑම් කරන එක තමයි විනෝදාංශෙ..  ඒ අඩවි හරහා අදුර ගත්තු බොක්කෙන්ම ෆිට් උන යහළු යෙහෙලියොත් සෑහෙන පිරිසක් අදටත් පිස්සට ඉන්නව...
Msn , Yahoo අඩවි හරහා අදුර ගත් අයත් එක්ක චැට් කිරීමත් සැරට කරා...


කාලයක් යද්දි පරණ මූනු හැලිල අලුත් මූනු ඔය අඩවි වලට එද්දි පිස්සත් ජංජාල ෆෝරම් වලින් ටික ටික ඈත් උනා... මූනු පොත හෙවත් Facebook ජනප්‍රිය වෙන්න ගත්තෙත් ඔය කාලේ.. ඉතින් ඊට පස්සෙ ඇබ්බැහිය උනේ මූනු පොත.

පෝක් කරයි.. තෑගි යවයි.. ක්‍රිකට් ගහයි..  වගා කරයි.. යුද්ද... මාෆියා.. ඉඩම් ගන්න විකුනන්න... නා නා ප්‍රකාර මූනු පොතේ ගේම් එක්ක කාලෙ ගත වුනා...
ෆොටෝ දානව.. ටැග් කරනව.. කමෙන්ට් කරනවා ලෙසට... ඒකටම සෙට් වෙච්චි යාළුවො සෙට් එකකුත් හිටියා ඒ කාලේ... එක කාලයක් විතරයි.... කාලයත් එක්ක උන් වගේම මාත් දැන් මූනු පොත භාවිතයත් සෑහෙන අඩුයි...



2009 දි විතර තමයි පිස්සට සිංහල බ්ලොග් ගැන ඉව වැටුනේ.. සඳුන්ගෙ නිකමට වගේ තමයි මතක විදියට බලමු මුල්ම බ්ලොග් එක... ඕකෙ අර සිගරට් බොන කෙල්ලගෙ කතාව තමයි මුලින්ම බැලුවෙ.. ඊට අමතරව දුකා අයියගෙ බ්ලොග් එකත්... ටැබූ බ්ලොග් එක... මලී ගෙ ඇබ්නෝමල් මයින්ඩ්ස්... මරණෙගේ මගේ මරණය වගේ... බ්ලොග් කීපයක් තමයි සිංහල බ්ලොග් වලට පාර පෙන්නුවේ. 


ඉතින් 2009 දි මම පටන් ගන්නව සිංහල හා ඉංග්‍රීසි බ්ලොග් දෙකක්... මේ දෙකම පටන් ගන්නේ ජංජාලෙ ෆෝරම් වලත් මූනු පොතෙත් මම භාවිතා කරපු කට්ටිය දන්න කියන නමකින්.. පෝස්ට් 10 ක් විතර ලියන්න ඇති.. වැඩේ අල්ලල ගියෙ නෑ... කවුරුත් බලන්නෙත් නෑ... කමෙන්ට් කරන්නෙත් නෑ.. ඔය කාලේ මට සින්ඩි ගැන අවබෝධයක් තිබ්බෙත් නෑ...


ටික දවසක් යද්දි මට හිතුන ලියන්න ඕනි කවුරුවත් නොදන්න නමකින් කියල.. එතකොට බය නැතුව ඕනි දෙයක් ලියන්නත් පුළුවන්.. එහෙම හිතල ඔන්න මම 2009 නොවැම්බර් 12 වෙනිදා පළාමල්ලෙ පලවෙනි පෝස්ට් එක දානව " හා හා පුරා කියල " . බ්ලොග් එකට පිස්සගෙ පළාමල්ල කියල දාන්න හේතුවවත් ඇයි ඒ නම දැම්මෙ කියලවත් මට හිතාගන්න බෑ...  ඒත් පිස්සා කියන නමට නම් පිස්සා පට්ට ආසයි.

ඒත් පලවෙනි පෝස්ට් එකෙන් පස්සෙ වල් වැදුන බ්ලොග් එකේ දෙවැනි පෝස්ට් එක මාස 4 කින් විතර 2010 මාර්තු 6 වෙනිදා ලියවෙනවා. ඊට පස්සෙ ඉතින් පුළු පුළු වන් විදියට තවමත් පළාමල්ල අවුස්ස අවුස්ස මොනව හරි කුරුටු ගානව.  ලියන වේගෙ නම් ඉතින් සතියකට පෝස්ට් එකක් වගේ තමා හිතල බැලුවම... පෝස්ට් 118 ක් ලියල තියෙනවා මේ වෙද්දි... ( සමහර පෝස්ට් නම් ඉවත් කරා පස්සෙ )...  හිට්ස් 85000 ක් පමනත්.. කමෙන්ට්ස් 3100 ක් පමනත් මේ වෙද්දි ලැබිලා තියෙනවා..

බ්ලොග් ලියල ලැබුනෙ මොනවද කියන ප්‍රශ්නෙට මුල්ම උත්තරේ නම් සුපිරි චරිත ටිකක් දැන අදුර ගන්න ලැබීම... බ්ලොග් අවකාශේ ඉන්න ඒ සුපිරි චරිත අඳුර ගන්න ලැබීමම ඇති මට නම්...

ඉතින් ආව ගිය අදහස් දක්වපු අයියල අක්කල මල්ලිල නංගිලා ඔක්කොටම බොක්කෙන්ම ස්තූතියි. ඔයාලගෙ අදහස් නොවන්නට පළාමල්ල ත් තවත් එක වල් වැදුන බ්ලොග් අඩවියක් වෙන්න තිබුනා... 100 වෙනි පෝස්ට් එකේදි කිව්ව ස්තූති කතා කියල වැඩි දවසක් නැති නිසා ඒවා ඕනි නෑ... ඒත් ඒ කිව්ව වගේම කවුරු හරි මම ලියන දෙයක් කියවලා අදහසක් දෙනවට මම පට්ට ආසයි... ඉතින් වෙලාව යොදවල ලියන ඒව කියවල අදහසක් කොටල යන උබල ඔක්කොටම ස්තුතියි ආයෙමත්....

ඉතින් අදට.. 2011 නොවෙම්බර් 12 වෙනිදට පිස්සගෙ පළාමල්ලට අවුරුදු 2ක්...

ඔන්න මගෙන් සුබ පැතුම්...

ඔව් අහම්බයක්... සැබෑම.. ඒත් මගේ කෙල්ල පැටියගෙත් උපන් දිනය අද.. 


යාළුවෙක් වෙච්චි... කාලයක් ගිහින් හොඳම යාළුවෙක් වෙච්චි... අද වෙද්දි මගේ කෙල්ල පැටිය වෙච්චි එයාගේ උපන් දිනේත් අද... 

මගේ හැම වැරද්දම රන්ඩු නොවී පෙන්නල දෙන...
මට තරහ ගිහින් කොච්චර බැන්නත් මාත් එක්ක රන්ඩු නොවී අහන් ඉන්න...
දවසම මහන්සි වෙලා ඇවිත් කෝල් එකක් ගත්තම ලස්සනට හිනා වෙලා මගෙ මහන්සිය නිවන...
මාව තේරුම් ගනිපු...
මගේ හීන වල හිටපු ජාතියේ පොළවෙ පය ගහල ජීවත් වෙන... ලස්සනට ආදරේ කරන්න දන්න...
ඔයා වගේ කෙල්ලෙක් ලැබුනේ වාසනාවකට...

පාළු සීතල රටක තනිවෙලා... හම්බු කරපු එකෙන් කාල බීල.. පාළු කාමරේට වෙලා කපුගේගෙ  උලලේනෝ අහන ගමන් 42% සැර බීම එක්ක තනි වුනු... ජීවිතේ ගැන.. අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නැතිව ඔහේ පාවෙවී හිටිය මට... ජීවිතේ ට සතුටක්... අනාගතේට බලාපොරොත්තුවක්... දුන්නේ ඔයා... 


මේ අවුරුද්දෙ බැරි උනත් ලබන අවුරුද්දෙ ඉදන් ඔයාගෙ හැම උපන්දිනයකටම මම ඉන්නව සුදූ ඔයා ලග..

ඉතින්.. ඔයාට සුබම සුබ උපන් දිනයක් සුදූ...


ප. ලි :: බ්ලොග් එකේ උපන් දිනයයි... කෙල්ලගේ උපන් දිනයයි දෙකක් ම එකට වැටුන එකේ ලාවට වගේ අංශයක් එක්ක සමරන්න තරහා අවසරද මන්ද.... හික් හික්...

ප. ලි 2 : අපේ මගේ ලෝකය ලියන රංග අයියගේ බ්ලොග් එකට අවුරුද්දක් වෙද්දි... මාර අයියගේ මාරයාගේ හෝරවට අවුරුදු 2ක් වෙලා.... ගොඩ වැදිල බැලුවනම් කට්ටිය....

Monday, November 7, 2011

මගේ ජීවිතේ පොරක් වූ " තනිකමත් " එක්ක ජීවීතේ විදීම....

Share
 
උදේට අපේ ගෙදර තේ හදන්නේ තාත්තා... අම්ම උයනවා... තේ හදල ඉවර වෙලා " කොලුවෝ.. තේ හරි " ඒ තමයි මගේ අවදිවීමේ එලාම් එක...
කොලුව නැගිටල ගිහින් තේ එක ගන්නවා... ඒ අරගෙන සාලෙට එනවා... පාන්දර නිසා කළුවරයි... රෑ පුරා දැල්වුනු වොට් 5 බල්බ් එකෙන් යාන්තමට අදුර බිදෙන ආලෝකයක්... පුටුවකින් වාඩිවෙලා ගන්නව කකුල් දෙක උඩට.. හොඳට ගුලි ගැහෙනවා... ඊට පස්සෙ ඇස් දෙකත් පියාගෙන අර තේ එක උගුරින් උගුර බොනව... විනාඩි 5ක් සමහර විට 10ක්.. තේ එක ඉවර වෙලත් ටිකක් වෙලා ඉන්නවා... ඒ මොහොතට මම පට්ට ආසයි...


රතු හාලේ බතුයි... කිරි හොඳියි... උබලකඩ සම්බෝලෙයි.... නැත්තම් තෙම්පරාදු බතුයි... බිත්තර පළුවකුයි.. ලා පොල් සම්බෝලේයි... කාල එලියට බැස්සම තියෙන ෆිට් එක... කොළබ ඉන්න කාලේ නම් කොටුවෙ කමර්ශල් බෑන්ක් එක ගාව තිබ්බ කඩේ රුපියල් 28 බත් එකට අර කෑම වේලට කිට්ටු වෙන්න බැරි උනත් හාල් මැස්සො තෙල් දාල... පරිප්පුයි.. බිත්තර පලුවයි..පොල් සම්බෝලෙයි... ඇඟට වදිනවා.... 

ආත්තමලහ තියෙන තේ කෑල්ලේ දවල් 1 - 2 වෙද්දි තියෙන්නේ පුදුම පාළුවක්... කොහොමත් පාළුයි.. ඒත් ඒ වෙලාවට තියෙන පාළුව ලස්සනයි... ඩොංග ගස් වලින් හෙවන උන ගල් තලාවක් තියෙනවා... පොතකුත් උස්සන් මම යනවා එතනට... අර ගල් තලාව උඩට වෙලා පොත කියවනවා... මගේම හීන ලෝකයක ජීවත් වෙනවා... ඇතියි කියල හිතුනම නැගිටල එනවා... ඇවිල්ල බාල්දියකුත් අරගෙන ආයෙම යනවා ලිඳට.... කඩල තිබ්බොත් තැඹිලි ගෙඩියක් හරි කුරුම්බයක් හරි අරන් යනවා මන්නෙකුත් එක්ක.... නාල ලිඳ ලගම තියන් තැඹිලි ගෙඩියටත් වග කියල එනවා... ආත්තම්ම උයල... රතු බත්.. මාළු.. එක්ක මොනා හරි.. ඒකත් කාල අව්ව බැස්සම ගෙදර එනවා...

වහින වෙලාවට ඉස්තෝප්පුවේ තියෙන වේවැල් හාන්සි පුටුවට වෙලා වැස්ස දිහා බලන් ඉන්න එක මගේ පුරුද්දක්... රෑ නම් මම හුඟක් කැමතියි.... " අම්මේ... ප්ලේන් ටී එකක් " හුලඟට වදින හිරිකඩ එක්ක එන සීතල... දුම් දාන ප්ලේන් ටී එකෙන් එන රස්නෙ... ඒක නියම හැඟීමක්... විදින්නම ඕනි... අම්බානෙක අකුණු ගහන්නෙ නැත්තම් වැස්ස ඉවර වෙනකල්... එක්කො රෑ 10 - 11 වෙනකල් මම එතනින් හෙලවෙන්නෙ නෑ... අම්ම බත් එක බෙදල ගෙනත් දෙනව එතනට බැරිම තැන....
හවසට ඇඟ හෝදන්න කලින් වැස්සොත් කමිසෙ ගලවල දාල වැලකට සරමත් කැහපට ගහගෙන වෙල පැත්තෙ තියෙන බැම්ම උඩින් වාඩි වෙලා වැස්ස දිහා බලන් ඉන්න එකටත් මම ආසයි. ගරාජ් එකේ වහල නිසා තෙමෙන්නෙ නෑ.. එත් හීකඩට තෙමෙනවා... එහෙම ඉදල නානකොට පට්ට...


නිදා ගන්න ඇඳට ගිහින් රෙද්ද ඇතුලෙ ගුලිවෙලා වැස්සෙ හඬට සවන්දීගෙන ඉන්නකොට ඒක භාවනාවක් වගේ...

කොළඹ ඉන්න දවස් වල හිතුන ගමන් නගිනව ගාලු හරි මාතර හරි බස් එහෙක... ටිකට් ගන්නව කළුතරට... කළුතර බෝධිය ගාවින් බැහල රුපියල් 20 ක් දීල ගන්නව මල්.. තෙල් හඳුන්කූරු නම් නෑ... සෙරෙප්පු දෙකත් මුල්ලකින් තියල මල් පූජ කරනවා... හිතුනොත් බෝධියත් නාවනවා... ගඟ අයිනෙ තියෙන බුදු මැදුරට ගිහිල්ල නිදහසේ වඳිනවා... හිත පට්ටම නිදහස්... පාර පැනල උඩ බෝධිය ගාවට ගිහින් අයිනකින් වාඩි වෙනවා... එතන නිදහස්... කලබල අඩුයි... ජීවිතේ ගැන හිතන්න නියම වෙලාව... ටිකක් වෙලා ඉදල ආයෙම බස් එහෙක නැගල කොළඹ එනවා...

සල්ලි අතේ තියෙන සමහර දවස් වල හිතෙනවා බියර් එකක් බොන්න නිදහසේ... නාගෙන ශෝටකුයි කමිසෙකුයි ඇඳගෙන රුපියල් 500කුයි හැඳුනුම් පතයි ( ජංගම දු.ක දාල එනවා ) අරගෙන පයින්ම එනවා පිළියන්දල ශැංහයි එකට... හවස 4 ට විතර කවුරුත් නෑ... කොනක මේසෙකින් වාඩි වෙලා ගෙන්න ගන්නව ලයන් එකක්... පොඩි ඔම්ලට් එකකුත්...පැය 2 - 3ක් ගත කරනවා... හිතවා... අතීතේ.. වර්තමානේ... අනාගතේ.... ලයන් ලාගර් 2ක් තමයි උපරිම බොන්නේ... ලාවට කික් එකක් තියෙනවා.. සෙනඟ පිරෙද්දි බිල ගෙවල මම එනවා... එන ගමන් කඩේකින් සම්බෝලත් එක්ක ආප්ප කනවා.. ආප්ප 3ක් ඇති... රුපියල් 15යි... දුම් දාන සැර... ගෙදර ඇවිත් ආයෙම ඇඟ පොඩ්ඩක් හෝදන් ඇදට.. නින්ද යනව ලෙසට

******************************
 
ජීවිතේ එක වකවානුවක මම ඇබ්බැහි උනු... අදටත් ලංකාවට ගිය වෙලාවට පුළුවන් විදියට විඳින... සිද්ධීන් කීපයක්... මේ සිද්දි දාමයට මම පට්ට ආසයි... 
හැබැයි ඒ සිද්ධි දාමය මගේ ජීවිතෙන් ඈත් උනු... ලංකාවෙන් පිට උනාට පස්සෙ මට ඕනි වෙලාවට විදින්න බැරි සිද්ධීන් කීපයක් බවට පත්වෙනකල් ඒවයේ වටිනාකමක් මට ලොකුවට දැනුනේ නෑ...
ඒ හැම එහෙකම තනිකම ගැබ් වෙලාද කියල හිතෙනවා... මම තනිකමට ආසද... ? ඔව් මම ආසයි... පට්ටම ආසයි...

ඒත් රටින් පිටවෙලා නාදුනන මූනු මැද විදින තනිකමට මම ආස නෑ... ඒක වදයක්... ඒත් වෙලාවකට මම ඒ තනිකමත් විදිනවා... කපන්න බැරි අත සිබිනව වගේ...


" තනිකම " කවුරු මොනව කිව්වත් උබත් සිරා පොරක් බන්... පොරක් කියන්නේ සිරාම සිරා පොරක්... නවම් අයියේ තනිකමත් මගේ ජීවිතේ පොරක්... ඌ පොරක් උනේ ජීවිතේ විඳින්න පුළුවන් තවත් එක පැත්තක් මට පෙන්නපු නිසා... 

Wednesday, November 2, 2011

පිස්සාගේ ලංකාගමනය

Share

අහස් යානයෙ පුංචි කවුලුව අතරින් පේන වලාකුලු මැදින් කොළ පාටට ගොඩබිම පේනකොට.. ගුවන් තොටුපලේ නවත්තල තියෙන Sri Lankan Air ප්ලේන් ටික දකිද්දි... හප්පා... හිතට එන හැඟීම නම් ආව්... කියලා වැඩක් නෑ...


හුන්ඩුවක් වගේ ප්ලේන් එකෙන් බැහල එද්දි හිනාවීගෙන ඉන්න මහරජා දැක්කමත් පොඩි කික් එකක් එනව කොච්චර බැන්නත්.. ඒක නම් වැඩියම දැනුනෙ 2009 යුද්දෙ ඉවර වුන වෙලාවෙ ලංකාවට යද්දි...


ඊට පස්සෙ ඔන්න ඉතින් ලංකාවට ආව කියල සීල් එකත් ගහගෙන අපේ එව්වොන්ට බෝතලුත් අරන්... බෝතල් 3 යි වයින් 3 යි... අපේ උන්ට හැරෙන්නත් මදි... ඒත් මක්ක කරන්නද.... ඔන්න ඉතින් බඩු මුට්ටු පොදි ගහන් එලියට එනවා... ඇත්තමයි අපේ රේගු නිලධාරින් බෑග් මලු පරික්සා කරලම නෑ නෙව මගේ... මූන දැක්කම පව් ඕනි නෑ කියල හිතෙනවද මන්ද....


අම්මයි තාත්තයි ඉන්නේ ඔය රත්තරන් පුතා එනකල්... ඒ මොහොතට මම පුදුම ආසයි.... අපේ අම්ම නම් සතුට වැඩි කමටද මන්ද අඩනවා.... " කොලුවා ආව නේ... " කියල තමයි තාත්ත නම් අහන්නේ....


කොහොමින් හරි එයාර් පෝර්ට් ඉදන් ගෙදර යද්දි ලංකාවෙ අපිටම ආවේනික වාහන එලවිලි දැක්කම එන කික් එක ගැන කුමන කතාද... ඇගේ හී ගඩු පිපෙනවා... මෙතුවක් කාලෙකට එයාර් පෝර්ට් එද්දි වාහනේ අරන් ආවෙ අපේ බාප්ප... අනේ උන්දැගේ එලවිලි... F1 යවන්න හිතෙනවා... සමහර වෙලාවට ඇස් දෙක මම තද කරල පියා ගන්නවා... සත්තයි... ලංකාවෙ ඉන්න කාලෙත් ඔරොත්තු දුන් නෑ වෙලාවකට... බයටම...


ඉතින් හැමදාම වගේ අලුතින්ම සිම් එකකුත් අරගෙන හතර දිග් බාගෙ ඉන්න උන්ට කතා කරනවා....

" මචන් මම ලංකාවෙ "

" අපෝ තෝ ආවද..... අතේ තියෙන සල්ලිත් ඉවරයි... නිවාඩු ටිකත් ඉවරයි "

" අඩෝ කැ*** නොකියම ආවනේ.... " ( කිව්වනම් උන් තොරන් ගහන්න වගේ )

" අඩෝ සෙට් වෙමු අහ්... බෝතල් ගෙනාවනේ... ගෝල්ඩ් ද බ්ලූ ද.. "


නා නා ප්‍රකාර රතු රෝස නිල් කොළ කතා...

" අඩෝ අද මොකෝ කරන්නේ.. උනවටුනෙ සෙට් වෙමුද... " බෑ කියයි මම.. මුහුදෙ නාල ඊට වඩා බීල හපොයි..


ආව දවසෙ ඉදන් යාලුවො කිව්වොත් පරන කතා.. ප්‍රශ්න.. දුක් ගැනවිලි.. ආදර කතා... අරව මෙව්ව ඔක්කොම... කොහොම ගියත් බීමක් තම.. කොටුවෙ හරි... අරූගෙ වත්තෙ හරි.... චීනෙක් මලාට ආවෙ නැති චීන කඩේක හරි... නෙළුම් කොලේ හරි... කෙහෙල් පඳුරක් බෝක්කුවක් පල්ලෙ හරි.... බීම තමා... එහෙව් බීමක්... චික්....


ඔක්කොටම වඩා අම්ම උයන කෑම හප්පේ... මෙහෙදි මලොත් නම් මල පෙරේතයෙක් වෙල උපදීවිද මන්ද... චීන ග්‍රීක් ඉන්දියන් ඉතාලි ඔය මොන උලව්ව කෑවත් මට අල්ලන්නෙ නෑ නෙව ලංකාවෙ කෑම තරම්...  මම උයන ලංකාවෙ කෑම ඉතින් අපි ඒ ගැන කතා නොකර ඉමු.... හික් හික්....


යහමින් උම්බලකඩ දාපු සම්බෝලෙත් එක්ක උණු කිරිබත්.. තෙම්පරාදු බත් එක්ක ලා පොල් වලින් හදපු පොල් සම්බල්... වත්තෙන් කඩා ගනිපු පුහුල්... බන්ඩක්කා... කොළ මැල්ලුම්.... අළුත් කියන්නේ අළුත්ම එළවලු.... අනේ... කෑම ගැන නම් ලියන්නෙ නෑ... කෙළත් ගිලෙනවා.... ( අපි නොලිව්වට අර මාරයා අපිව කෙළ ගිල්ලවල මරනවා බුකියේ කෑම දදා... )

ලිදෙන් එන සීතල වතුර ටිකක් නාල එද්දි තැබිලි ගෙඩියක් බීල... උණු වෙන් බත් සුට්ටක් කාල... ගහක් යටට වෙලා කල්පනාවක් දාන් ඉද්දි තියෙන සැප....


කෙල්ලත් එක්කත් රවුමක් ගහල.. ෆිල්ම් එකක් එහෙම බලල සාප්පු සවාරියක් ගිහින්... පන්සලකට එහෙමත් ගිහිල්ලා.... උදේ ගිහින් හවස එන්න පුළුවන් day ට්‍රිප් පුළුවන් තරම් දාගෙන.....


උදේ ඉදන් හැන්ද වෙනකන් ටෙලිෆෝන් කොම්පැනි පෝසත් කරලා... ලංකාවෙ ඉද්දි වැඩියෙම වියදම් වෙන්නෙ රී ලෝඩ් වලටද මන්ද.. දානව දානව ඉවරයක් නෑ.. දෙක නම් අනිවා අරක්කු සහ බයිට් වලට...


නෑ ගෙවල් වල අහල පහල එව්වොන්ගෙ ගෙවල් වල ගිහින් දත් 31 පෙන්නල හැමදාම අහන උන්ටවත් මටවත් වැඩක් නැති ප්‍රශ්න සැට් එකට උත්තර දීල...


එහෙමත්ම වෙලාවක පරණ කෙල්ලොත් මුන නොගැහෙනව නෙමෙයි පාර තොටේදි....


අතේ තියෙන අන්තිම සතේටම හිදෙනකන් ඉන්නව...  කාලය යනවා නිකන් තප්පරෙන් හඳට යන වේගෙන්....

" පුතේ  කවද විතරද යන්නෙ... නිකන් මෙහෙට වෙල ඉදල වැඩකුත් නෑනෙ.. " කාලය සහ මා විසින් මා කා දැමීම බලන් ඉන්න බැරුව අම්මයි තාත්තයි විසි තිස් පාරක් වත් ඇහුවම ඔන්න " ඔව් ඔව් යන්න ඕනි... " කියල දවසක් කියනවා....


රටේ නැති කෑම ජාති පැකට් කරන්න ගන්නෙ එතකොට ඔන්න... මගෙ නම් කිසිම උනන්දුවක් නෑ.. මොකද ඒ වෙද්දි යන්න එපැයි කියන වැටුන මානසික මට්ටමේ නෙව.... එත් අම්මයි තාත්තයි ඒව වරද්දන් නෑ.. කරවලද... කිරි ටොෆිද... බූන්දිද... දොදොල් ද..... සීනි සම්බල්ද... විකාර ගොඩාක්... මෙහෙට ඇවිත් ඉතින් ඕක කැලි වලට කඩල දන්න දන්න එවුන්ට බෙදුවම ඇති දේකුත් නෑ...


ණයට හරි සල්ලි ටිකක් හොයන් අවුරුද්දකට විතර ඇඳුම් කෑලියි සිංහල ඉන්ගිරිසි DVD තමා මන් ගන්නෙ... අන්තිම වෙද්දි අතේ සතේ නෑ... ෆුල් හිඟන්නා... මේ පාරත් මෙහේ ඇවිත් ණය බේරුවෙ අපේ එවුන්ගෙන් ගනිපු.... මේ පාරනම් වැඩියම ඉතින් හිත හොඳ කමට අතේ තිබ්බ සල්ලි ණයට දීල දීපුව නොලැබීමේ ආනිසංසෙන්...


ලංකාවෙ එන දවස තමයි එපාම වෙන්නේ... කෙල්ල අඩනව එහෙන්... අම්මත් අඩනවා... ආයෙ ඉතින් මේ සීතල රටයි... වැඩයි... මෙලෝ රහක් නැති කෑමයි... එක්ක මටත් ඇඩෙනවා.... හැබයි මුල් කාලෙ තරම් අවුලක් නම් නෑ දැන්... ප්ලේන් එකේදි හොඳට වැදෙන්න දෙකක් දාල දෙන දෙයක් කාල බුදියනවා දුක යන්නත් එක්ක... ගානක් නෑ... ආයෙම ලංකාවට යන්න countdown has began.... 

ඒකත් මහ පුදුම දෙයක්... ගමේ ඉන්න අපේ සඳරුවා කොළඹ එන්න ආසයි... කොළඹ එකා රට යන්න ආසයි... රට ඉන්න එකා ලංකාවට එන්න ආසයි... ජීවිතේ අපි අපිට නොලැබෙන.. නිතර ලබා ගන්න බැරි දේවල් වලට පුදුම ආසයි... ඒ ආසව නිසාම අපිට ලැබුන දේවල අගයක් අපිට නොදැනී යනවා... ජීවිතේ තවත් එක හැටියක්...

හමුවෙමු නැවතත්...
Related Posts with Thumbnails