Wednesday, December 21, 2011

පිස්සු රයිස් ( Rice ) සහ පිස්සු ඉස්සෝ...

Share


ඔබා මාමගේ ඉස්සො ප්ලේට් එක දැක්ක දවසෙ ඉදන් ඉස්සො හදන්න මාර උණක් තිබ්බෙ... වෙලාවක් හම්බුනේ ඉතින් පහුගිය දවසක තමා.. ඔබා මාමගේ රෙසිපියේ වැඩි දියුණු කරපු වර්ශන් එකක් හදන්න ඕනි කියල හිතුනේ ඔබා මාම මගේ කැමතිම තක්කාලි උන්දැගෙ රෙසිපියට දාල නැති නිසා.


ඉතින් පරිස්සම් පාරේ ( Safeway ) එකට ගිහිල්ල පොඩි ශොපිං පාරකුත් දාල අඩුම කුඩුම ටිකත් අරන් ආවා ඉස්සො හදන්න..


තම්බපු ඉස්සො...
ලූණු..
සුදු ලූණු..
රතු සහ කොළ පාට කැප්සිකම්..
මාළු මිරිස්..
අමු මිරිස්..
තක්කාලි..


අඩුවැඩිය ටික හීනියට හීනියට කපල බලද්දි ඉස්සො 250 g වගෙ දෙගුණයටත් වඩා අඩු වැඩිය. ලූණු කන්නය... මදි පාඩුවට ගෙදර තිබුන සොසේජස් කරල් ටිකකුත් කපල ගත්ත... ඔය තියෙන්නේ...


දැන් කුකිං ටයිම් එක.. මොකුත් නෑ... ඔය උඩ තියෙන එව්ව ඔක්කොම කෑලි කෑලි කැපුවා... තාච්චියක් ලිපේ තියල තෙල් සුට්ටක් දාල රත් වෙද්දි අබ ටිකක් දැම්ම... චට චට ගාල පුපුරද්දි සුදු ලූණු ටික හැලුවා... ඊට පස්සෙ ලූණු.. තක්කලි... කැප්සිකම්.. මාළු මිරිස්.. ඔය ටික දැම්මා... ඊට පස්සෙ ඉස්සො ටිකයි... සොසේජසුයි... අහ්.. තක්කලි සෝස් සහ සෝය සෝස් සුට්ට සුට්ටත් හැලුවා...


හරි... අහ් සැර කෝ.. කෑලි මිරිස්... ගම්මිරිස් කුඩු... ලුණු ටිකකුත් දැම්ම.. ඔය තියෙන්නේ...


ටිකක් වෙලා තියල බාල ගත්තම හප්පෙ සුවඳ.. මොකුත් නෑ.. ලංකාවෙ චීන රෙස්ටුරන්ට් එකක් සිහියට එනවා.. ඒ එක්කම.. සීත කල බීර බෝතලයක්.. කොහෙද.. ඕක කිව්වම කෙල්ල පැට්ට බර බරේ නිසා ඒ ආසවට තිත තියල මූනු පොතේ දාන්න පින්තූර කෑල්ලකුත් අරන් වැඩේ අහවර කලා. ( පින්තූරෙ පේන්නෙ නම් සොසේජස් විතරයි... ඉස්සො ටික තාච්චියේද මන්දා... )


ඒ උනාට හිතට මදි.. ඇයි අපිට බැරිද එක්පෙරිමන්ට් කරන්න... ඊට පස්සෙ ආව අදහසක්... ඒක ඊලඟ දවසෙ ක්‍රියාත්මක උනා.




ලූණු..
සුදු ලූණු..
තක්කලි..
අමු මිරිස්..
මාළු මිරිස්..
රතු සහ කොළ පාට කැප්සිකම්..


කෑලි වලට කපල ගත්තා...




කැරට් ගෙඩියකුයි... බ්‍රොකලි කෑල්ලකුයි තම්බල කෑලි වලට කපා ගත්තා... ( බ්‍රොකලි නම් කුඩු වුනා )..



තම්බපු ඉස්සො..
සොසේජස්..
හතු...


ඔය ටිකත් ගත්ත කෑලි කෑලි වලට කපල...


පොඩ්ඩක් ගැඹුරු තාච්චියක් වගේ අයිටම් එකක් අරන් තෙල් සුට්ටක් දාල රත් වෙද්දි ඔය උඩ ලිස්ට් එකේ එව්ව එක එක පිළිවෙලට දැම්ම... දාල පොඩ්ඩක් කලවම් කරන ගමන් කෑලි මිරිස්... ගම්මිරිස්... ලුණු... කහ.. තුනපහ... සුට්ට සුට්ට ත් හැලුවා... ඊලඟට සෝස්.. තක්කලි.. සෝයා.. ෆිශ්.. සුදු ලූණු... තිබ්බ සෝස් ජාති ඔක්කොමත් දැම්මා... චීස් පෙති 2 ක් තිබිල ඒ දෙකත් දැම්මා... අච්චාරුව වගේ දැන්...



ඊට පස්සෙ බත් ටිකක් අරන් ඒ ටිකත් කලවම් කලා.. හරි ඔය තියෙන්නේ... ම්ම්ම් තව මොනවද.. හරිනෙ.. ගත්ත බිත්තරේකුත්.. දැම්ම... ඔය ඔක්කොම දාල තව ටිකක් ලිපේ කවලම් කර කර ඉදල ගින්දර නිව්ව...


චිලි පේස්ට් ටිකකුත් එක්ක කන්න ගත්ත... හප්පෙ.. සිරාවටම රසයි.


හැබයි ඉද හිට මිසක් මෙහෙම කෑවොත් හැදෙන ලෙඩ හොයා ගන්නවත් බැරි වෙයි.. තෙලුයි.. සෝසුයි.. හපොයි.

Friday, December 16, 2011

වෙරි මරගාතේ ලර්නස් ගිහින් තියෙද ??

Share
 
ඒ ලෙවල් ඉවර උනාට පස්සෙ කොල්ලො නා නා ප්‍රකාර දේවල් කරනවනේ... බහුතරයක් දෙවැනි පාර කරන්න රිවිශන් යනවා... ඒ අස්සෙ ඉන්ග්‍රීසි ක්ලාස්... ජපන් ක්ලාස්... කරාටේ ක්ලාස්... තව නා නා ප්‍රකාර ක්ලාස්.. ඔය අස්සෙ ලර්නසුත් යනවා.. මොටෝ බයික්කයක් එහෙම පදින්න පුළුවන් උනාට පොලෝසියට මාට්ටු වෙයි කියල පරාන බයේ නෙව පදින්නේ... ඉතින් ලයිසන් ගත්තම කිසි ගින්නක් නෑ... පෙළහර පාන්න ගන්නෙ නිකන් කුඩ්ඩට ඇමතිකම් හම්බුනා වගේ...

ඉතින් අපේ මේ චරිතයට අපි කියමුකො කසුන් කියල... මූත් යන්න ගත්ත ලර්නර්ස්.



*****

ඒ දවස් වල යාළු වෙල හිටිය කෙල්ල මුන ගැහෙන්නත් එක්ක මම ස්ටෑන්ඩ් එකේ කොට තාප්පෙකට හේත්තුවක් දාගෙන පොතකුත් රෝල් කරන් ඉන්නවා.

" කොහෙද බන් ක්ලාස්ද ? " ගාගෙන එකෙක් සෙට් වෙනවා... තව ටිකකින් තව එකෙක්.. උන් අදුරන තව එකෙක්.. ඔහොම තමයි කට්ටිය සෙට් වෙන්නෙ... ඔහොම සෙට් වෙන එව්වො ස්ටෑන්ඩ් එකේ තාප්ප පිරෙන්න... ඉතින් ඔන්න කොනකින් මතු උනා චරිතෙත්.. කසුන්.. හිනාවකුත් දාගෙන ඇවිත්..

" අහ් හු**** වලක්ද ? "

හප්පේ සුවඳ... බාර් එකක් ගිලල වගේ... ඊට වඩා මට මළ මූ මටත් හොරා කා එක්ක සෙට් වෙලාද කියල...

" අපෝ.. මොනාද යකෝ බිව්වෙ.. ගඳ.. කියහන් කා එක්කද සෙට් උනේ.. කියන්නවත් එපා.. "

මට ඇති උන තරහව ප්‍රශ්න සෙට් එකකින් ම අතෑරියා..

" උබ දන්නෙ නෑ බන්.. අපේ ගමේ සෙට් එකක්.. "

" ඉතින් තෝ මේ වෙරි මර ගාතෙ ගාලු ආවෙ.. උබේ කෑල්ලත් එන වෙලාව නේ මේ.. "

ඒ දවස් වල මූ කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියා... යාළු වෙලා කිව්වට ඒක නිකන් අතර මැදි තත්වයේ


" මම බන් මේ ලර්නස් ගියා.. දැන් මේ කෑල්ල බලන්න ආවෙ.. "  තාප්පෙ අල්ලගෙන දෙපැත්තට වැනි වැනි කියපි...

මගෙයි.. ලඟ සෙට් වෙලා හිටි උන්ගෙයි ඇස් නලලේ...

" මොකා.. ?? ?? තෝ ලර්නස් ගියා ?? බීල ?? "

" එවෙලෙ වෙරි නෑ බන්.. මේ හු**** තැපෑලෙ බන් වැදුනේ... "

කට්ටියම මූනට මූන බලාගෙන...

" ඒ ඒ වරෙන් පොඩ්ඩක්...  "

මූ මාවත් ඇදගෙන එක පාර ගාල කඩාගෙන වගේ දුවන්න ගත්තා... ස්ටෑන්ඩ් එක ඉස්සරහ කහ ඉරෙන් පාර පැනල පිට්ටනිය අයින් දිගේ කොටු තාප්පෙ පැත්තට විදිනවා දැන්...

" මොන හුන්නස්ගිරියක්ද බන්.. කෙල්ලත් එන වෙලාව.. මිස් වුනොත් කාපු කට්ටත් වැඩක් නෑ.. මොන මළ දානෙකද බන් යන්නේ.. " මටත් අම්බානෙකට චුට්ටක් අඩුවෙන් තද උනා..

ඒ අමිහිරි මොහොත...

" ඕක්.. ඕක්... " දෙනෝ දාහක් ගැවසෙන ටව්න් එකේ... පිට්ටනිය අයිනෙ තියෙන පේමන්ට් එක උඩ දාර කබරයෙක්...



ලැජ්ජ බය උපරිමේට තියෙන කාලේ මට උන් හිටි තැන් අමතකයි... වටේ පිටේ පොරවල් ඈත් වෙලා සිග් සැග් සීස්ටම් එකට ඇවිදිනවා අපිව මග ඇරලා... මූට වගක් නෑ.. දන හිස් දෙකට අත් දෙකත් තියාගෙන දෙකට නැවිලා වැනෙනවා...

මීට හොඳා මූ මගේ කලිසම ලිහුවනම් අර ස්ටෑන්ඩ් එක මැද්දෙ කියල හිතුන මට...

" මෙහෙ වරෙන් හු**** " කියල මම ඌවත් ඇදගෙන කොටුව දිහාට යන්න ට්‍රයි එක.. මිනිස්සුත් අඩු නිසා ඒ පැත්තෙ.. කොහෙද..

" ඒ පොඩ්ඩක් ඉන්න දියන්.. "

යකෝ මූට හොටු කැවිලද.. බිව්වත් ටව්න් එකේ කබරය දාන්න... ඒ මදිවට තව සනීප ගන්නත්...

දන්න කියන කුණුහරුප ඔක්කොම ටික මගේ කටින් පිට වෙනවා.. පාරෙ යන උන් මැජික් වගේ බල බල යනවා... මට නිකන් නිරුවස්තර වෙලා වගේ..

" හරි දැන් හරි.. යමන්.. මම කෙල්ලත් එක්ක ගෙදර යනවා... දැන් හරි.. යමන්.. "

" උබ ? කෙල්ල එක්ක.. ?? එහෙනම් ඒකි ගැන අදහස අත් ඇරගන්.. බූරුවො යමන් ගෙදර ඒකි එන්න කලින්.. "

ස්ටෑන්ඩ් එකට ඇවිල්ල මූවත් බස් එහෙකට නග්ග ගත්තා.. ඌ බොන්නයි.. මම පෙරුම් පුරන් බලන් හිටිය දවසෙ කෙල්ල මිස් වෙන්නයි..  ඒ මදිවට පොල්ල තිබ්බට ඊලඟ දවසෙ කුරු කුරුව අහන්නයි... සුරාවෙ අගය මට මැවිල පේන ගනන්...

බස් එක සීට් ගානට පිරිලා.. ක්ලාස් ඇරිල නැති නිසා ලොකු සෙනඟක් නෑ.. බස් එක ස්ටෑන්ඩ් එක වටේ රවුම දාල ගාලු පාරට සෙට් වෙද්දිම..

" ඒ මචන් වමනෙට වගේ "

දෙවියනේ... අර බස් එක ඇතු ලෙ දැම්මොත් මට ගෙවලුත් මාරු කරන්න වෙන සීන් එකක්.. මම ඌව ඇදන් බස් එකෙන් බැස්ස නෙමෙයි පැන්න.. කෝ මූ.. ඌ යනව කෙළ මෝලෙන් කුණු ඇළ දිහාට.. කොහෙද එච්චර හරියක්...  අයිනෙ පාක් කරල තිබ්බ බස් එකක් අල්ලගෙන දෙවැනි පාර

" ඕක්.. ඕක්... "


යාළුව වෙනුවෙන් උනත් මට නම් බෑ.. මම හිටි තැනම නැවතුනා.. ගාල්ලෙ ඒ දවස් වල ඔහොම චාටරයක් කනව කියන්නේ හොඳි නැතුව අවුරුද්දක් බත් කනවට එහා...

ටිකක් බලන් ඉදල ඉවරයි වගේ පෙනුන නිසා..

" හරිද.. ඉවරද.. ? "

" හරි හරි අවුලක් නෑ.. මේ කෙල්ල බලන්න බෑ බන්.. දැන් යමන්.. " කියපි..

මදන ඇතුන් නැවත්තුවත් බමන එව්වො කොහේ නවත්තන්නද... බස් කට කපල සෙනග ඒ වෙද්දි.. යාළු වෙල හිටි කෙල්ල කොහේද මන්දා.. මූව දාල යන්නය.. ඌවත් ඇදගෙන නැගපි බස් එකක ෆුට් බෝඩ් එකට..
හුලං පාර වැදි වැදි යද්දි වෙරි නැග්ගද බැස්සද මන්දා ඌට... ඌව හෝල්ට් එකෙන් බස්සල මම ගෙදර ගියා ඒ බස් එකේම.



පස්සෙන්ද මායි ගයානුයි ක්ලාස් එකකුත් කට් කරල දාර වලක් බහිද්දි මෙන්න මූ එනවා ගලේ රීපු එකා වගේ... ඒ වෙද්දිත් ඒ අමිහිරි දිනය ගැන මම ගයාන්ට කිය කිය හිටියේ..

" ගොන් බි*** " කියල පටන් ගෙන සුමදුර වදන් මාලවකින් ඌව අමතපු මම අන්තිමට

" ඉතින් මොකක්ද බන් උනේ එදා.. උබ සිරාවට ලර්නස් ගියාද ? "

" හ්ම්ම් "

" මොකක්ද යකෝ.. කියපන්... ඉතින් උන්ට මීටර් නෑ.. උබ වාහනේ එලෙව්වද බීල ?? "

" ඔව් බන් එවෙලෙ අවුලක් තිබ්බෙ නෑ වැඩිය.. උන්ට දැනුනෙත් නෑ... ඒ වුනාට ඌ කිව්වෙ බන් මම් කිසිම හැඟීමක් නැතුවෙයි එලවන්නෙ කියල...  "

" හක් හක් හක්... උබට යකෝ මොන හැඟීම්ද... ගොන් බි*** තෝ මාවත් නෝන්ඩි කලානෙ ඊයෙ... ශික්.. "

ටිකකට පස්සෙ මූ කියපි..

" උබලට කියන්න බන්... මට ලර්නස් යන්න කලිනුත් කබරයෙක් සෙට් උනා.. නේවි කෑම්ප් එක ඉස්සරහ බස් එකෙන් බැහල ශේප් එකේ දාල ගියේ.. "

මමයි ගයානුයි මූනට මූන බලා ගත්තා...

ප. ලි : ඌ ලයිසන් ගත්තා විතරක් නෙමෙයි ඌ පස්සෙ බර වාහන ලයිසනුත් ගත්තා.. දැන් නම් මතට තිත කියල කියනවා... ඇත්තද මන්ද. කාලෙකින් සෙට් උනේ නෑ.

ප . ලි 2 : ඌ බ්ලොග් බලන්නෙ නෑ කියල උපකල්පනය කරනවා.. ඌ බලනවනම්.. සොරිම තමා.. ඒ මචන්.. සොරි හොඳේ.. නම වෙනස් නේ... ගානක් නෑනේ හික් හික්.

Friday, December 9, 2011

" දුවපන් යකෝ " ප්‍රින්සිපල් එක්ක රේස් එකක්...

Share


මේක ඇවිල්ල ස්කෝලෙ කාලෙ කතාවක්. කාලෙකින් ලියන්න උනෙත් නෑනෙ ස්කෝලෙ කාලෙ සීන්. හුඟක්ම අවුල මට මතක නැති එක. ස්කෝලෙ කාලේ යාළුවෙක් එක්ක පරණ වල්පල් කතා කර කර ඉද්දි තමයි සීන් මතක් වෙන්නෙ...


ඒ ලෙවල් කරන්න ගත්තු අලුතම වගෙ අපේ ගයාන් සෙට් වෙල හිටිය ගෑණු ළමයෙක් එක්ක අපේ වයසෙම. ගෑණු දැරිවි අර කොළ පාට ටයි එකක් දාන ස්කෝලෙ. ගාල්ලෙ අය නම් දන්නවනේ ස්කෝලෙ... මේ කෙල්ල කොහේ ගියත් අම්ම ඒකිගෙ පස්සෙන්. ඉතින් මූ ඒ දෙන්නගෙ පස්සෙන්. රෑට ගෙදර ෆෝන් බිල ඉලක්කම් පහේ ගානක් වෙනකල් මල් කඩමින් ටෙලිකොම් එක පොහොසත් කරනව. මාසෙ අන්තිමට බිල ආවම උන්ගෙ අයිය කුණු වෙන්න තාත්තගෙන් බැනුම් අහනව.. ඔක්කොම කුණු ඌට යන්නෙ.. 

පස්සෙන් යාමයි... ටෙලිෆෝන් එකෙන් මල් කැඩීමයි තමයි ඉතින් ලව් එක. එහෙමත්ම දවසක තම අම්ම නැත්තෙ.. එදාට ඉතින් අවුරුදු... ඒ කියන්නේ වචනයක් දෙකක් හම්බුවෙලා කතා කරන එක. හික් හික්...


උගේ ලව් එක ගැන ලඟදි මතක් කල වෙලෙත් බැන්නෙ


" බලහන් අතකින් වත් අල්ලල නෑ බන් ඒ උනාට ඒකෙන් උනු කෙලිය කියල.. "  ඒක මේ අහිංසක කතාවක්...මෙතනට අදාල නෑ.

කොහොමින් හරි කෙල්ල ගෙ පදිංචිය ගාල්ලෙ දං ගෙදර. ඔය කාලෙම මහින්දෙට යන දං ගෙදර එක්තරා ජාතියක කොල්ලෙකුත් ඔය කෙල්ලට ලයින් එක දානව. අපේ එකාගෙ සීන් එක ඉව වැටිල ඌ මූව කීප වතාවක් හොයලත් තිබ්බ.


නාහෙට අහන් නැති සෙට් එකක් හිටිය දං ගෙදර පැත්තෙ එකෙක් එක්ක කොක්කක් දාගන්න දෙපාරක් නෙමෙයි 4 - 5 පාරක් වත් හිතනව ඒ දවස් වල. ඔය තත්වෙ අනුව මහින්දෙ පැත්තට හරි දං ගෙදර පැත්තට යනව හරි කියන්නේ අර යුද්ද කාලේ කිලිනොච්චි යනව වගේ සීන් එකක්. කොයි වෙලේ බීපු කිරි මතක් වෙන්න කෑමක් ද ශුවර් නෑ.


ඉතින් සති ගානකින් හම්බු වෙලා කතා කරන්න නොවිච්චි දුකින් ඉද්දි මූට ආරංචියක් ආව දවසක ඔන්න " අද අම්ම නෑ කියල.. " ආදරය වෙනුවෙන් නේ ගුටි කෑවත් කියල ඌයි මායි ස්කෝලෙ ඇරෙද්දිම කොළ ටයි ස්කෝලෙ ගාවින් බැහල ඉන්නව දැන් කෙල්ල එනකල්.


කෙල්ලත් එනව වැනි වැනි යාළුවෙකුත් එක්ක.. දන්නවනේ ඒ කාලේ පාරක තොටකදි කතා කරන් නෑ... අමුතු හැදියාවක් තිබ්බනේ. ඉතින් කෙල්ලො දෙන්න යනව අපිත් යනව උන් දෙන්නගෙ පස්සෙන්. විමංස එක පහු කරල කන්ද නැගගෙන මහින්දෙ පැත්තට යනකොට අපි දෙන්නම පොඩ්ඩක් විතර නෙමෙයි සෑහෙන ගැහි ගැහි ගියේ මොකද ඉතින් අර වසවර්තිය මාට්ටු උනොත් අනිවා කෑමක් නිසා.. ඒ කාලේ ඉතින් වලියක් වැටෙන්නෙ 99% චීත්තයක් නිසා නේ..

ඔන්න ඉතින් පස්සෙන් සක්මන් කරල මහින්දෙත් පහු කරල මහින්දෙ අයිනෙන් දංගෙදර පැත්තට යන්න තියෙන පටු කඳු පාරටත් ආව. මහින්දෙ අයිනෙන් තිබ්බ ඒ පාරේ ආරම්භය කන්දක්... කන්ද මුදුනෙ වංගුවක්... ඊට පස්සෙ පල්ලම.... ඉතින් කොයි පැත්තෙන් ආවත් කන්ද මුදුනට එනකල් මුදුනෙ ඉන්න කෙනෙක් පේන් නෑ. එක පැත්තකින් මහින්දෙ.. අනික් පැත්තත් කවර් වෙලා පොඩි ගස් වලින්. නියම ප්ලේස් එක... හැංගි මුත්තං කරන්න නම්.... ඒ පාර දැන් වහල දාල කියල කව්ද එකෙක් කිව්වා... ඇත්තද මන්දා...

යාළුවගේ ආදරය වෙනුවෙන් මම එක පැත්තකින් ඔත්තු බලද්දි අනික් කෙල්ල අනික් පැත්තෙන් ඔත්තු බලනව. මුන් දෙන්න කන්ද මුදුනෙ වංගුවට මුවා වෙල පෙම් පිලිසඳරෙ.


අව්ලකුත් නෑ... කවුරුවත් එන්නෙත් නෑ... පාර දෙපැත්තෙන්ම ක්ලියර්..


එක පාරටම මහින්දෙ ස්කෝලෙ පැත්තෙ ලඳු කැලෑව අස්සෙන් සර සර ගාගෙන සුදු කිට් එකක් ගහපු බුවෙක් පාත් උනා. ස්කෝලෙ කොල්ලෙක් කියල හිතුවට ඒ සිතුවිල්ල මොහොතයි... නෑ පොර ටයි එකකුත් දාල.


චායවක් පෙනෙද්දිම ගාල කඩාගත් පෙම්වතිය සිරි බිරි ගාල යාලුවත් ඇදන් කන්දෙන් භාගයක් බැහලත් ඉවරයි.. ගයානයත් හිමින් මගේ දිහාට එනව...


" ඔහොම නවතිනව " ගොරෝසු කටහඬකින් විධානයක්..


" මේ කව්ද බන් ? " මමත් එක පාරටම හිතා ගන්න බැරිව ගයාන්ගෙන් ඇහුව...


" යකෝ මහින්දෙ පිනා... "


පොර නාලගිරි හස්ති රාජයා වගෙ කෙලගෙන එනව අපි දිහාට..


" දුවපන් යකෝ... "


ගයානය මාවත් ඇදන් දුවන්න ගත්ත..


" නවතිනවා... " කියාගෙන ප්‍රින්සිපලුත් එලවන්න ගත්තෙ නැද්ද...


පස්සවත් නොබල අර පත පල්ලම දුවන් ආපු වේගෙන්ම එලියට් රෝඩ් එක මාරු උන අපි අලපලාව හන්දිය පැත්තට තියෙන පාරෙ අහුවෙන දෙවැනි දාර පල්ලමත් නියුට්‍රල් එකේන්ම ඇදල දැම්ම... බ්‍රේක් වදිද්දි අපි විමංස එකත් පහු කරල වක්වැල්ල පාරට ඔන්න මෙන්න..


දැන් ඒ රන් එක දැම්මනම් සතියක් හති රියි ඇද උඩට වෙලා... ඒ දවස් වල අපි ෆිට් නිසා පොඩ්ඩක් දනිස් දෙකට අත් දෙක තියන් හති ඇරල මන් අරූ දිහා බැලුව. ඌ මගේ දිහා බලන් හති අරිනවා...

 " ඇයි පුත්තලම් බූරුවො දිව්වෙ ? "

" යකෝ ඒ මහින්දෙ පිනා.. "

" ඉතින් ? අපේ එකා නෙමෙනේ බන්.. මොන එහෙකටද ඌට බයවෙන්නෙ ? "

" යකෝ ඌ අපේ එකාට මාට්ටු කරාම... ලොවෙත් නෑනෙ.. අල්ලගෙන කෝල් එකක් දුන්නනම් අපේ එකා ඉදියි මෙතන විනාඩියෙන්... "

" අඩෝ ඒකත් ඇත්තනේ බන්.. පොර නාලගිරි ඇතා වගේ එලවන් ආව හැටි..  "

ඒත් අපි කරපු වැරද්ද මොකක්ද කියල දැන් හිතුනට එදා හිතුනෙ නෑ එහෙම.. පාළු පාරක යුනිෆෝම් පිටින් කෙල්ලෙක් එක්ක කතා කර කර ඉදීම එල්ලුම් ගස් යන සීන් එකක් විදියට අපිට හිතුනේ...

තව ටිකක් වෙලා හති ඇරපු අපි කහපාට පේ ෆෝන් පෙට්ටියකින් කෙල්ලට කෝල් කරල කෙල්ල ගෙදරට කරදරයක් හිරිහැරයකින් තොරව ලෑන්ඩ් උනාද කියල හොයාගෙන ආයෙම විමංස එකේ තිබ්බ ප්‍රතාපසිංහ සර් ගෙ ක්ලාස් එකට යද්දි පැය භාගයකට එහා පරක්කුයි...

" ඈ බන් අයියෙ... තොපි දෙන්න කොහේද අර ගාල කඩන් දිව්වෙ ??? "

හුටා මේ මනුස්සය අපිව දැකලද... දැන් ඉතින් හැංගෙන්න වෙන්නෙ ඩෙස් එකක් අස්සෙ තමයි.. දියන්කො උත්තර..


ප. ලි : පිනා... ඌ.. එකා... ආදී වචන භාවිතා කලේ අපහාසයකට ලක් කිරීමට නොව ඒ කාලෙයේ කට වහරේ ගැවසුනේ ඒ වචන නිසාය.


ඒ පාර වහල ද කොහෙද පූල් එකක් හදල තියෙන්නේ... පොඩි මෑන් ගෙන් තමයි අහන්න ඕනි...

Monday, December 5, 2011

ඈත දුරු රටේ සීතල දැනෙනවද....

Share
 
පසු ගිය දිනක මම රැකියාව කරන ස්ථානයේ සිටි පකිස්තානුවකුට දුරකතන ඇමතුමක් ආවා... මොහොතකින් මම දුටුවෙ උලුවස්සකට ඔලුව ගහගෙන ඉකිබිදින ඔහු... යමක් සිදුවී ඇත... මම ඔහුගෙන් ඇසූ පැනයට පිළිතුර උනේ...


" my dad " 


මම ඉතිරිය වටහා ගත්තා... ආවේගශීලි තද ගති තිබූ ඔහුගේ ඉකිබිඳුම මගේ හිතත් සසල කලා...


එවෙලේම ඔහුව ඔහුගේ නිවසට හැරලවන්න මම ඉදිරිපත් උනේ එම තත්වය යටතේ රිය පදවීම එතරම් සුදුසු නෑ කියල මට හිතුන නිසා.


වසර 4 කට පසු ඔහු ඔහුගේ රටට ගොස් පියාව බලල ආවෙ මීට මාස 2කට පෙර.. මම ඒ ගැන සඳහන් කරමින් ඔහුගේ සිත සනසන්නට අසාර්ථක උත්සහයක නිරත උනා.


අපි මේ වගේ ඈත රටක තනිවෙලා... අපිව හදා ගනිපු දෙමව්පියෝ එහේ තනිවෙලා... අවුරුදු ගානකට වරක් සති කීපයක් එකට ගත කරල කුමටද... දැන් මට ආයෙ කවදාවත් මගේ පියා සමඟ කාලය ගෙවන්න වෙන්නෙ නෑ.. පසුගිය වසර කීපය ඔහු සමඟ ගත කරන්න තිබුන නම්... කියමින් ඔහු හඬා වැලපෙනවා..


" අපි මේ දුර රටක තනිවෙලා අපේ පවුල් වලින් ඈත් වෙලා ගෙවන මේ ජීවිතේ කුමක්ද ?? "


ඒ ඔහුගේ පැනයට උත්තර මා ලඟ නෑ....


ඒ සිදුවීම දිගේ මා වැඩි දුර සිතන්නට නොගියේ එය තවත් එක් සිත් වේදනාවක් පමනක්ම වන නිසා...


ඒත් ඊයෙ ඒ දිගේ හිතන්නට හේතු උනේ රෑ ඉර පාන වැඩසටහනේ ප්‍රචාරය උන ගීයක්.. mp3 වාදකයට රෑ ඉර පාන පසුගිය වැඩසටහන් copy කරල වාහනේ යන එන ගමන් ඇසීම මගේ පුරුද්දක් වෙලා...


උදේ වැඩට යද්දි වාහනේ ගුවන් විදුලියට සවි කර තියෙන වාදක යන්ත්‍රය හරහා ඇසුනු එම ගීය හිත හුඟක් සසල කලා..


දරුවන් තමන්ගෙන් ඈත් වෙලා දුර රටවල් වල ඉගෙනීමට.. රැකියාවට ගියහම තනිවෙන දෙමව්පියන් හැමෝටම පොදු සිතුවිල්ලක් එම ගීතයෙන් කියවෙනවා කියල මට හිතුනා... ගීතය අවසන් වෙද්දි මගේ ඇස් දෙක බොඳ උනේ මගේ දෙමාපියන් සිහිවෙලා වෙන්න ඕනි..


තමන්ගේ අත්දැකීමක්...දුක.. තනිකම... වචන වලට හැරවූ ඔහු  මහාචාර්ය කුලරත්න... මහාචර්ය කාලෝ ෆොන්සේකා ගේ තනුවට... රෝහන වීරසිංහගේ සංගීතයට... රෝහන වීරසිංහ හා නෙලු අධිකාරිගේ කටහඬ එක් වූ මේ ගීතයට පසුබිම් වූ කතාව රෑ ඉර පාන වැඩසටහනින් අහන්න පුළුවන්...




ඈත දුරු රටේ සීතල දැනෙනවද....
රස මසවුලු ඔබෙ බඩගිනි නිවනවද....


පුතේ...


දුක සැප බලන්නට කිසිවෙක් සිටිනවද
දෙමාපියන් හීනෙන්වත් පෙනෙනවද....


ගිය මග වෙනස් කර සෙවූ නව මග හරිද
ලක්බිම නොවේ ලොව ඔබෙ මව්බිම උනිද
ජීවයේ සැබෑ තතු ඔබ නිති සොයනවද...
ඔබ එන තුරු බලා සිටියම වැරදියිද...


පුංචිම කාලෙදි පෑ දස්කම්
මතකයි පුතුනි..


දුරු රට ගියේ විදු සක්විති දෙන්නද සුදු පුතුනේ
ඔබ ගැන මතක හිත පාරයි රන් පුතුනේ
ඉර හඳ නොපායයි ඔබ එනතුරු පුතුනේ...




 ගීතයට පසු වදනක් ඕනි නෑ කියල හිතුන නිසා ලිපියට තිත තියෙනවා....

ප. ලි :  වැඩ අධික වීම නිසා පසුගිය කාලේ බ්ලොග් ලිපියක් ලියන්න තියා බ්ලොග් කියවන්නවත් වෙලාවක් උනේ නෑ... ලිපි කීපයක් කියෙව්වත් අදහස් දක්වන්න වෙලාවක් නම් උනේම නෑ... ඒ ගැන සමාවෙන්න ඕනි....
Related Posts with Thumbnails