Monday, January 30, 2012

ඉගෙන ගන්න රට ගිහින් අමාරුවෙ වැටෙන හැටි...

Share


YouTube එකේ දැකපු මේ වීඩියෝ එකත් එක්ක මේ ලිපිය ලියන්න හිතුනා. මේ ගැන මීට අවුරුදු කීපයකට කලින් එලකිරි අඩවියෙත් ලිපියක් මම දැම්ම මතක විදියට. අපේ ලංකාවෙ උසස් පෙළ ඉවර වෙනවත් එක්කම බොහෝ කොල්ලො කෙල්ලන්ට හැදෙන ලෙඩක් තමයි ඉගෙන ගන්න රට යන්න ඕනි කියන එක. උන්ගෙ කටේ තියෙන ලොකුම වචන සෙට් එකක් තමයි " මෙහේ ඉදල හරි යන්නෙ නෑ " කියන එක.


ඔතනදි කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් හොඳට සල්ලි තියෙන... රට යවල උගන්නන්න පුළුවන් දෙමව්පියන්ගේ දරුවන් එක කොටසක්. අනික සාමාන්‍ය සමාජයේ එදිනෙදා වියදම් කොහොමහරි සපයගෙන ජීවත්වන දෙමව්පියන්ගෙ දරුවන්.


මේ ලිපිය ලියවෙන්නෙ ඒ දෙවැනි කොටසට අදාල දරුවන්ගෙ අවධානය පිනිසයි.


* ලංකාවෙ උසස් පෙළ සමත් උනත් විශ්ව විද්‍යාල සඳහා තේරෙන්නෙ සීමිත පිරිසක්. ඉතිරි කොටසට තියෙන අවස්ථා අල්පයි.


* ANC, ACBT, SLIIT, NIBM, CINEC, OCU සහ තව පුද්ගලික ආයතන කිහිපයක් තිබුනත් ඒවායේ මිල ගනන් බොහෝ සමාන්‍ය පවුල් වල ළමයින්ට දරා ගැනීමට අපහසු වෙනවා. ( SLIIT සහ NIBM නම් සාපේක්ශව අඩු මුදලක් අය කලත් )....


* මුදල් ගෙවා ඉගෙන ගෙන එලියට ආවම රැකියාවක් පිළිබඳ තියෙන අවිනිශ්චිත බව.


 * පොඩි කාලේ ඉදන් ඉන්ජිනේරුවෙක්... ඩොක්ටර් කෙනෙක් වෙන්න ඔනි කියන මතය නිසා කාර්මික විද්‍යාල හෝ වෙනත් ඒ ආකරයේ සමාජයේ ඉහලින් පිළිනොගත්ත රැකියා පුහුණුවන්ට ඇති අකමැත්ත.


* අනික පොඩි කාලේ ඉදන් ඔලුව වැටිල තියෙන රට හීන සහ මෙහේ ඉදල හරියන්නෙ නෑ කියන වදන නිසා බොහෝ ළමයින් සහ දෙමව්පිය ඉගෙන ගන්න රට යන්න ඕනි කියන තැන ට එනවා.


උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වෙන්න කැමති අයට පත්තර පිටු ගනන් පිරෙන්න දැන්වීම් තියෙනවා. ඕස්ට්‍රේලියාව... එක්සත් ජනපධය...රුසියාව... ඉන්දියාව.. සයිප්‍රසය... තව අහල නැති රටවල් වල පවා නා නා ප්‍රකාරයේ විශ්ව විද්‍යාල ( කඩ ?? ) වලට ළමයින්ට යන්න පුළුවන් මේ දැන්වීම් දාන ආයතන හරහා. ඔන්න ඔය ආයතන වෙත ළමයි සහ දෙමව්පියන් යොමු වෙනවා ඉහත හේතු මත.


එහෙම ගියහම ඒ ආයතන වලින් අඳිනවා චිත්‍රයක් දෙමව්පියන්ට සහ ළමයින්ට... සුර ලොවක් මැවිල පේන්න.


Part time රැකියා කරන්න පුළුවන්... ඒ කරලා තමන්ගේ වියදම් සහ විශ්ව විද්‍යාලයට.. පාසලට.. ගෙවන්න ඕනි Course fees ගෙවන්න පුළුවන්... ඉතිරි කරල ලංකාවටත් සල්ලි එවන්න පුළුවන්.. ආදී වශයෙන් බොහොම ලස්සන චිත්‍රයක් අඳිනවා. ඉතින් රට යන්න පොඩි හරි ආසාවක් තියෙන කෙනෙක් උනත් කොහොම හරි ඉගෙන ගන්න රට යන තැනට පත්වෙනවා ඒ සුරංගනා කතාවත් එක්ක.

මූලික වියදම් සහ පළමු වාරයේ course fee එක ගෙව්වෙම ප්‍රමානවත් එතනින් පසු සියළුම වියදම් Part time job කරල හොයා ගන්න පුළුවන් කියන් පට්ට පල් බොරුව විශ්වාස කරලා අපේ කට්ටිය ඔන්න රට යන්න සූදානම් වෙනවා.


වීසා ගන්න නම් තමන්ට රට ඉන්න කාලෙට අවශ්‍ය වියදම් සහ course වලට යන මුදල ( Australia වට නම් මෙය වසර 4 ක උපාධියක් සඳහා ලක්ශ 100 කට ආසන්න මුදලක් ) තමන්ට වියදම් කරන්න පුළුවන් බවට immigration එකට පෙන්නන්න ඕනි. එතනදි ඔය කිවූ බොහෝ ආයතන නා නා ප්‍රකාර හොර වැඩ කරනවා. පත්තරේ අරන් බැලුවත් දැකල ඇති මුදල් පෙන්නීම යම්කිසි මුදලකට කරල දෙනවා කියල දැන්වීම්. ඉතින් ඒ වැඩේ ලක්ශ 5 - 6 ක් අරගෙන කරල දෙන වැඩෙත් ඔය ඒජන්ත වරු බාර ගන්නවා. වීසා අරන් දීල රට යනකන් ඔවුන් ඔබට උදව් කරනවා.. කිසිම අවුලක් නොවෙන්න. ප්‍රශ්නෙ තියෙන්නේ


* ඔවුන් ඔබට ඇඳල පෙන්නපු චිත්‍රය අමූලික බොරුවක් බව රටට පය ගැසූ මොහොතේම ඔබට වැටහීම.


* ඔබ ඉගෙන ගන්න ආපු විශ්ව විද්‍යාලය.. එක ලංකාවෙ AL ටියුශන් පන්තියක් වැනි පොඩි ආයතනයක් පමනක් බව තේරුම් යාම.

දැන් තමයි සිහින ලොවෙන් අවදිවන කාලය... ඉන්න හිටින තැන් වලට.. කෑම බීමට... ගමන් වියදම්.. මුදල් ඕනි... ඒත් කෝ රැකියා... ???


නීතිය අනුව එන කෙනෙක්ට නීතියට අනුව වැඩ කල හැක්කේ පැය 20ක් පමණයි සතියකට... කෙනෙක් ඔය පැය 20 වැඩ කරල ඉහත වියදම් සියල්ල සපායගෙන මාස 6 කින් එන එකට මුදල් එකතු කරන්න හිතනවානම් එය සුදු සිහිනයක් පමණයි.


මම ඉන්න රටේ නම් සාමන්‍යන් සතියකට හවුලේ වාසය කලත් නවාතැන් වලට අඩුම ගනනේ $ 100 ක් වත් ඕනි කරනවා.. කෑම බීම වලට තවත් $ 50 ක් වත්.. ( ?? ) .. ගමන් වියදම්... බිල්... තව $ 50 ක්.. එදිනෙදා අනෙකුත් වියදම්... පොත් පත්.. සහ ඒ දේවල්.. කොහොම සතියකට $ 250 - 300 ක් වත් ඕනි වෙනවා... හුඟක් රැකියා වල ගෙවන්නේ මම දන්නා ආකරයට $ 12 - 15 ක් අතර මුදලක්.. ඔබ හොරෙන් වැඩ කරනවනම් එය $ 10 ක් වෙන්න පුළුවන්.. ඉතින් ඔබට පැය 20 ක් වැඩ කරල ඔබගේ වියදම යන්තම් හොයා ගත්තත්... course fees කොහොමද ඔබ හොයන්නේ ????

හොරෙන් තව පැය 20 ක් වත් ඒ කියන්නේ සතියකට පැය 40 - 50ක් ඔබට වැඩ කරන්න වෙනවා.. ඉගෙන ගන්න ගමන් පුලුවන්ද කියල හිතල බලන්න..

Course fee college එකකට $ 6000 - 7000.. University එකක නම් $ 10000 - 13000 අතර වෙනවා semester එකකට.



රැකියාවක් සොයා ගැනීම ලෙහෙසි කටයුත්තක් නෙමෙයි.. බොහෝ දෙනා Cleaning job වල නියලෙනවා. බොහොමයක් එවැනි රැකියා පාන්දර එහෙමත් නැත්තම් මහ රෑ තියෙන්නේ... සීතලේ කට්ට කාගෙන කරන්න වෙන්නේ... ලංකාවෙ ඉද්දි කන කෑම් පිඟාන හෝදපු නැති එවුන් අවසානයේ වැසිකිලි පිරිසිදු කරන තත්වයට පත් වෙනවා. මම ඒ රැකියාවන් පහත් කිරීමක් නෙවෙයි කරන්නේ.. ඒත් එවැනි දේවල් බලාපොරොත්තුවෙන් මෙහි කිසි වෙකු එනවායැයි මා සිතන්නේ නැහ.

එහෙත් එවැනි රැකියාවක් හොයා ගැනීමත් ලෙහෙසි කරුණක් නොවෙයි.. course fee හොයා ගැනීමට පැය 20 ඉක්මවා වැඩ කිරීමට සිදු වෙනවා..කවුරු හරි වැරදිලවාත් immigration එකට ඔත්තුව දුන්නොත් කෙලින්ම ගෙදර...


ඒ වගේම ඔබ හොරෙන් වැඩ කරන බව දන්න විට ඔබට ගෙවන්නේ සුලු මුදලක් වෙන්න පුළුවන්.. මාසයක් විතර වැඩ අරන් සල්ලි නොදී ඉන්න අවස්ථා සුලබයි...


ඉඩම් විකුණා... උගස් තියල.. හීන මවන් එන ඔබ අන්ත අසරණ වෙනවා..


ඒ වගේම ඔබ එන අධ්‍යාපන ආයතනය පෙට්ටි කඩ සහතික නිකුත් කරන ආයතනයක් නම් ඔබ ලබන සහතිකයට ඇති වටිනාකම ????


පසු ගිය කාලේ එවැනි පෙට්ටි කඩ ජාතියේ අධ්‍යාපන ආයතන බොහොමයක් ඕස්ට්‍රේලියානු රජය විසින් වසා දැමුවා. ඒවායේ සිටි ළමයින්ට ඔවුන් ඉගෙන ගත් ( ඇත්තටම මොනවද ?? ) දේවල් වලට කිසිම පිළිගැනීමක් නෑ...ඔබ නිදි මරන්.. දුක් විඳල... හම්බු කරන සල්ලි ගෙවන්නේ කවුරුවත් පිළිනොගන්නා සහතිකයකට නම් ඒකේ තේරුම කුමක්ද කියල හිතල බලන්න...


ඒ නිසා ඔබ ඉගෙන ගන්න රට යන්න අදහස් කරනවානම් ඔය ඒජන්සි කරුවන් විශ්වාස කරන්න එපා.. යන අදහස් කරන රට ගැන අන්තර්ජාලයෙන් සොයා බලන්න. ඔවුන්ගේ ආගමන විගමන නීති... ඔබ යන්න අදහස් කරන අධ්‍යපන ආයතනය පිළිගත් ආයතනයක්ද... එහි රැකියා අවස්ථා ගැන... වියදම් කොහොමද... ඒ සඳහා ඇති නිල වෙබ් අඩවි මගින් සොයා බලන්න. දන්න කෙනෙක් ඒ රටවල් වල ඉන්නවනම් ඔවුන්ගෙ අසා බලන්න...සෑම ඒජන්සියක්ම මේ වගේ නොමඟ යවන්නේ නෑ... ඒත් බහුතරයක් එහෙමයි


මගේ පුද්ගලික අදහස නම් ඔබගේ උපාධිය යම් හැකියාවක් තියෙනම් ලංකාවෙම අවසන් කරන්න... ඉන්පසු සොයා බලා ඔබගේ එතනින් ඉහල ඉගෙනීම් වලට රට යන්න.. මොකද ඔබට එවිට පිළිගත් රැකියාවක් කරන ගමන් ඔබේ අධ්‍යාපන කටයුතු නිම කල හැකි නිසා. ඒත් හොඳට හොයල බලල...


මේ සම්බන්ධව ඇසූ නෑදැ සහ හිතවත් කිහිප දෙනෙක්ට ඉගෙන ගැනීම සඳහා රට යෑම සහ එහි ඇති අඳුරු පැත්ත ගැන මම දන්නා දේවල් කියන්නට ගොස් අවසානයේ අහගන්න ලැබුනේ " ඕකුන්ට යන්න හොඳයි.. අපේ ළමයි යනවට ඉරිසියාව නේ.. "  යන කතාව නිසා මම මේ සම්බන්ධ කිසිවෙකුට පුද්ගලිකව කතා නොකිරීමට තීරනය කලේ මීට වසර ගනනාවකට පෙරය. ඒත් උදේ දැකපු ඉහත වීඩියෝව නිසා මේ බ්ලොග් සටහන තැබීමට තීරනය කලෙමි.

පහත වීඩියෝ වේ වූ එම තරුණයන්ගේ අදහස් කිහිපයක්..


" ලංකාවෙ ණය වෙලා... ලංකාවට සල්ලි යවන්න හිතාගෙන බොරුවට මෙහේ එන්න එපා..."

" මේක ඇවිල්ල සුන්දර ලෝකයක් නෙමෙයි... මෙහේ ආවනම් ගොඩ තමයි කියල හිතුවට වැඩක් නෑ... මෙහේ ඇවිල්ල කිසිම දෙයක් ලැබෙන්නෙ නෑ.."

" මේ වගේ රටකට එනවනම් හොඳ විශ්ව විද්‍යාලයක බලල එන්න... නැතුව ඒජන්ත වරුන්ගේ සුරංගනා කතා වලට රැවටිල අහිංසක දෙමාපියන්ගෙ සල්ලි වියදම් කරල මෙහේ එන්න එපා කියල ඉල්ල සිටිනවා.. "



ඒ වගේම බැලුම්ගල ඉදිරිපත් කල වැඩසටහනක් තමයි මේ.. ඒත් ඔය ඉගෙන ගන්න කියල අහිංසක ළමයි සයිප්‍රස් පටවපු තවත් කෙරෙන සෙල්ලමක් ගැන තමයි...




කෙනෙක් එකක් විදියට දාපු මේ ලින්ක් එකත් ලිපියට අදාල නිසා ඇතුලත් කලා. ඔබ යෑමට අදහස් කරන විශ්ව විද්‍යාලය ( University ) ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ජාත්‍යන්තරය පිළිගන්න ආයතනයක් ද යන්න මෙන්න මේ ලින්ක් එක දිගේ ගිහින් පරික්ශා කරන්න පුලුවන්.

මේ ලිපියට ඔබගේ අදහස්.. අත්දැකීම... බලාපොරොත්තු වෙනවා... වගේම පුළුවන්නම් මේක ශෙයා කරන ලෙසත් ඉල්ලා සිටිනවා... ලිපිය නැතත් ඉහත වීඩියෝ දෙකවත්.. මේ ලිපිය නිසා එක්කෙනෙක් හරි අමාරුවෙ වැටෙන එකෙන් ගැලවෙනවනම් සතුටුයි... ඒකයි.

135 comments:

  1. සෑහෙන්න හොඳ වැඩක් මචං. මේ ගැන මමත් කාලයක් තිස්සෙ ලියන්න කියල හිතාගෙන හිටියේ. කොහොමත් ඕක සුරංගනාලොවක් නෙවෙයි. උඹට කියන්න දෙයක් නෑනෙ ඒක ගැන.

    ReplyDelete
    Replies
    1. Vampa V : ලියපන් පුළුවන්නම් මග ඇරුන කරුණු ටිකක් එකතු කරල හරි මචන්... වටිනවා කාට හුනත්.

      Delete
  2. මම කරපු කෝස් දෙකම රජයේ ආයතන වලින් කරපුවා.. ඉන් එකක් IT අනිත් එක Accounting.. IT එක කෙසේ වෙතත් Accounting කෝස් එක කරපු ආයතනයෙන් දෙන සහතික පිලිගන්නවා කෙලින්ම දෙන්නේ B.com සහතිකේ..

    මෙතන කියෙන ප්‍රශ්නේ රජයේ දේවල් වලට ඇති අකමැත්තේම මුල්බැහැගෙන ඉන්න එක.. එහෙම නැත්තං රජයේ අධ්‍යාපන ආයතන තියෙනවා හොඳ සේවාවන් දෙන... මම කිවුවේ පාසල් හැර..

    ReplyDelete
    Replies
    1. සෝරෝ : ඇත්ත මචන්... අපේ රටේ අවස්ථා තියෙනවා. ඒත් හැමෝම පොර කන්නේ එකම දෙවල් ටිකකට.. ඉතින් අර අවස්ථා මග හැරෙනවා.

      Delete
    2. මගේ Account Diploma එක කලේ SLIATE එකේ.. සමහර විට උඹ මේ නම අහලත් නැතුව ඇති.. මේවා ජනතාව අතරට යනවා අඩුයි ඒකයි සීන් එක.. ලොකුම සීන් එක මේ ආයතන වලින් කරන පබ්ලිසිටිය අඩු මට්ටමක තිබීම මොකද පෞද්ගලික ආයතන වලින් කරනවා වගේ කරන්නේ නෑ මේවා.. අලුතෙන් බැජ් එකක් ගන්නව නම් ගැසට් එකේ දානවා.. ඒ ඇරෙන්න පේපර් ඇඩ් එකක් දානවා.. ඉගනගන්න අයගෙන් කීයෙන් කී දෙනාද ගැසට් එක බලන්නේ..

      ඔන්න ඕකයි තත්ත්වේ..

      Delete
    3. සිරාවට. දැන් හුඟක් උන් ගැසට් එක බලන්නෙ නෑ.. රජයේ ඔය වගේ ආයතන වලට ඔයිට වඩා ප්‍රචාරයක්.. වගේම ප්‍රතිපාදන දෙන්න ඕනි... දන්නො දනිති සීන් එකක් වෙන්නේ

      Delete
  3. සහතික ඇත්ත කතාව මාත් මේ ළඟදි යන්න හිතන් ඉන්නෙ student visa හදාගෙන ගියොත් ඔය කියන ප්‍රශ්න අඩුද අයියෙ?

    ReplyDelete
    Replies
    1. අනේ පිස්සො... මේ කියල තියෙන්නේ student visa වලින් යන අය ගැන තමයි. තමන්ට හොඳ ආර්ථික පසුබිමක්.. ඒ කියන්නේ part time කරලා මදි වෙන මුදලක් අවුලක් නැතිව ගෙදරින් ගෙන්න ගන්න පුලුවන් නම්... යන්නේ හොඳ පිළිගත් විශ්ව විද්‍යාලයකට හරි පාසලකට හරි නම් ප්‍රශ්නයක් නෑ.

      Delete
  4. ඔබ ඉගෙන ගන්න යන විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ ජාත්‍යන්තරය පිළිගන්න ආයතනයක් ද නැද්ද යන්න මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්.

    http://www.ugc.ac.lk/en/universities-and-institutes/recognized-foreign-universities.html

    ReplyDelete
    Replies
    1. Ano : බොහොම ස්තුතියි ලින්ක් එකට... මම ඒක පෝස්ට් එකටත් ඇතුලත් කරන්නම්

      Delete
    2. ඔබටත් බොහොම ස්තුතියි ලින්ක් එක පොස්ට් එකට ඇතුලත් කලාට. ඒ ලින්ක් එකේ තිබුන මෙන්න මේ කරුණ වැදගත් කියල හිතුන නිසා මම මේ කොමෙන්ට් එකටම ඇතුලත් කරනව. අදාල නෑ වගේනම් ඉවත් කලාට අමනාපයක් නෑ.

      "It is the responsibility of the general public to verify from the above sources or the University Grants Commission the recognition of Universities/Higher Educational Institutes before registration for a degree awarded by a foreign University/Higher Educational Institute."

      මේ කියල තියන විදිහට අපි යන තැන ගැන හොඳින් හොයල බලන එක අපේ වගකීමක්. එහෙම නැතුව අපිව රට පටවන ඒජන්සියෙවත්, කවද හරි පිළිගැනීමක් නැති සහතිකයක් ප්‍රතික්ෂේප කරන රජයේ හෝ පෞද්ගලික ආයතනයක වැරැද්දක්වත් නෙමේ.

      Delete
    3. ඔව්... තමන් දැන ගන්න ඕනි තමන් යන්නේ කොහෙද... ඒ තැන මොකක්ද... පිළිගැනීමක් තියෙද.. ඒ කාරනා ගැන. කාගෙවත් කීම් විශ්වාස නොකර. වැදගත් කොටසක් හයිලයිට් කිරීමට ඔබට බොහොම ස්තුතියි මිත්‍රයා.

      Delete
  5. හොඳ වෙලාවට බං මට වැඩිය ඉගෙන ගන්ඩ බැරි වුණේ....

    ReplyDelete
    Replies
    1. Jeew : ඒ මොකෝ බන් එහෙම කියන්නේ ?

      Delete
  6. හොඳ පෝස්ට් එක පිස්සෝ. ඔය වගේ කේස් අනන්තවත් තියෙනවා. මම දන්න ලන්කාවෙ හොඳ සල්ලි කාරයෙක්ගේ පුතෙකුත් ඔය විදිහට ඕස්ට්‍රේලියා ගිහිල්ලා, හරියට ඉගෙන ගන්නෙ නැතිව, කුඩු ගහන ඔසී කෙල්ලෙක්ව කසාද බැන්දලා චාටර් වෙලා ආපහු ලංකාවට ආවා....!

    ReplyDelete
    Replies
    1. දුමී : ඒ තවත් ජාතියක්... උන් නම් ඉතින් ඕනිකමින් මනේ විනාශ වෙන්නේ...

      Delete
  7. ගොඩක් හොඳ වැඩක් ඔයා කරලා තියෙන්නේ. මගේ කසින් කෙනෙක් අපි කියන එක අහන්නේ නැතිව ගියා ඕස්ට්‍රේලියා. හැබැයි එයා ජොබ් එකක් කරන ගමන් මාර කට්ටක් කාගෙන තවම ඉගෙන ගන්නවා. මම ලංකාවේ ඉඳන් ඒලෙවල් කරන ගමන් BCS කරනවා. එයා මට වඩා අවුරුදු තුනක් වැඩිමහල් උනත් මට තව එක ලෙවල් එකයි තියෙන්නේ BCS ඉවර කරන්න. ඉතින් එයාට වඩා කොච්චර නිදහසක් මට තියෙනවද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ වැඩි හරියක් මිනිස්සු මේ දේ පිලිගන්නේ නෑ. මෝඩ‍යෝ කියලා මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. බිම්සර වලල්ලාවිට : ලංකාවෙ තියෙන අවස්ථා ගැන හොයන්නෙ නැති කම තමයි... ලංකාවෙ ඉදන් කරන්න පුළුවන් දේවල් හෙන කට්ටක් කාගෙන... හැමෝගෙන්ම ඈත්වෙලා දුක් විඳගෙන කරන්න ඕනිද ?

      Delete
    2. එහෙම උනත් පිස්සෝ , ලංකාවේ ඉඳන් ජීවිතේට ජීවිතය ගැන
      මිනිසුන් ගැන ඉගෙන ගන්නේ නැති දේවල් පිට රට ගිහිල්ල කටු කාල
      ගත්ත ඉගෙනීමෙන් ලැබුනා මචන්. ජීවිතේට ලොකු පන්නරයක්.
      ලංකාවේ ඉඳිද්දී taking for granted ලෙස ගන්න බොහොමයක් දේවල්
      ඇත්තටම අගය කරන්න ලැබුනේ ඒ ඉගෙනීමෙන්... නොකා හිටපු වාර ගාන වල
      හැටියට , දැන් ලංකාවට ගියහම අම්ම දෙන බත් එකේ තියෙන්නේ ලුනුයි බතුයි
      විතරක් උනත් සතුටින් හිනා වේවි අගය කරමින්/රස කරමින් කන්න ඒ ලැබූ අත්දැකීම් කොච්චර උදවු උනාද ???
      තව ඔයි වගේ ඒවා ඕන තරම් ... ^_^

      Delete
    3. Tiraj Adikari : ඔය කතාවෙ ඇත්තක් තියෙනවා. ඕනිම දෙයක අගය දැනෙන්නේ ඒ දේ නැති උනහම. ඒ උනාට ඔය කොළඹ බෝඩිම් වල කූඩු වෙලා කන කට්ටත් සෑහෙන කට්ටක් නෙමෙයිද ?? ඒවගෙන් පන්නරයක් ලැබෙනවා උබ හරි මචන්. ඒත් මෙහෙම හරි හැටි තොරතුරු නොදැන ගිහින් අමු කට්ටක් කාල නොවටිනා සහතිකයක් ගන්න එකේ වටිනාකම ගැනයි මම කිව්වෙ.

      රට ගිහින් ඉගෙන ගන්න එකේ අවුලක් නෑ.. හරියට තොරතුරු දැනගෙන..යන්න ඕනි වගේම පූරුවෙ පවට පව් ගෙවන්න යන්න ඕනි නෑ කියන එකයි මචන් මම අදහ්ස් කලේ.

      Delete
  8. ගොඩක් අයට ඔය පිස්සුව ගහන්වා... ඒදවස් වල ලංකාවනං අප්පෝ බං... වචනේ ඇහිලා කං ගොඩවෙලා තිබ්බේ... අපි ඉතිං කන්නංගර දරුවො වෙච්චි... දෙයියනේ කියලා රජයෙන්ම ගොඩක් දේවල් හම්බුණා... සෝරෝ කියනවා වගේ පබ්ලිසිටිය තමා කේස් එක.. අපේ ඈයොත් අහුවෙන්නෙ ඔ්කටනේ.... අඩුගානේ ඉස්කොලෙන් අස්වෙද්දිවත් ඔ්වා දැනුවත් කරන්න පුලුවන්නං....

    ReplyDelete
    Replies
    1. නරකයා....!! : ඉස්කෝල වලදි.. එතනින් අයින් උන ගමන් ඔය ගැන කතා කරනවනම් වටිනව. අපේ උන් එහෙමත් නෑනේ... බහුතරයක්. අනික " අපෝ බන් ලංකාවනම් " කියන එක ඔලුවට ආව කියන්නේ ගොඩ ඒමක් නෑ...

      Delete
  9. පැහැදිලි කිරීම පංකාදුයි!

    ReplyDelete
    Replies
    1. බුද්ධි : ස්තුතියි මචන්

      Delete
  10. මට තියන අවුල බං දැන් අපි වගේ උන්ට රට ගිහින් ඉගන ගන්නම බැරිද...??? (මධ්‍යම පාන්තික)

    ReplyDelete
    Replies
    1. ලේනා : බැරි නැහ මචන්... මම කිව්ව වගේ දෙමාපියන්ගෙන් හරි.. එම රටේ වාසය කරන නෑදැයෙක්ගෙන් හරි යම් කිසි උදව්වක් අවශ්‍ය උනාම ගන්න පුළුවන් කමක් තියෙනවම් එය සෑහෙන ලොකු සවියක් වෙයි...

      Delete
  11. මල්ලී ඔබට පිං. මේක තමයි මම කියන්නෙ නිසි ක්‍රමවේදයකට අනුව ලංකාවෙම මුදලටත් ඉගෙනීමේ පහසුව ඇති වෙන්න ඕනෙ කියලා.

    ReplyDelete
    Replies
    1. වෙද ගෙදර මහ වෙදනා : ඔව් මමත් එකඟයි. පිළිගත් ක්‍රමවේදයක් ඇතුව කෙරෙන්න ඕනි ඒත්...

      Delete
  12. ගොඩක් හොද ලිපියක් .. මම නම් කියන්නේ ලංකාවේ උපාදියක් කරලා යන එක තම ගොඩක් ම විස්වාසනීය ක්‍රමය
    වී වී . යන්න බැරි නම් මේ වගේ ආයතනයක කරන උපාදියත් ගොඩක් පිළිගන්න මට්ටමක තියෙනවා

    http://www.ichemc.com/education.html
    Sri Lanka School of Agriculture

    මම දන්නා තරමට තියෙන්නේ මෙච්ච්රය් .. තව දන්න කට්ටිය එකතු කරන්න ... කාට හරි ප්රෝයෝජනයක් වෙය් නේ
    අනික් එක UK , newze නම් යන්නම එපා

    ReplyDelete
    Replies
    1. IChemඑකේ ඉගෙනගන්න කලින් දෙපාරක් හිතන්න. IChem එකෙන් දෙන්නේ Graduateship certificate එකක් මිසක් Bachelors degree එකක් නෙමෙයි.

      ඊට වඩා හොදයි open university එකේ කරන එක

      Delete
    2. ඇනෝ ලා දෙදෙනාටම ස්තුතියි අදහස් වලට සහ තොරතුරු වලට... මේ ගැන දන්න කෙනෙක් තව විස්තර ටිකක් සපයන්න පුළුවන්නම්...

      Delete
    3. www.ichemc.edu.lk මෙය තමයි අලුත් website එක

      [ඊට වඩා හොදයි open university එකේ කරන එක] පැහැදිලි කරන්න

      ichemc විසින් පිරිනමන සුදුසුකම පිලිගත් විශ්වවිද්‍යාලයක උපාධියකට සමාන වේ.

      මෙහි 10 වන කමෙන්ටුවේ සිට පහලට කියවන්න. සියල්ලම මගෙනි.

      http://ariyananda.wordpress.com/2010/04/29/ආචාර්ය-උපාධියක්-ලබාගන්නේ/

      Delete
    4. කමෙන්ට් කිරීමට ප්‍රමාදවීම ගැන සමාව... කරන්න නොඋනේ සති අන්තය ඔතෙන්ටම වැය වූ නිසාය

      Delete
    5. Don't misunderstand me as I'm not trying to put down IChem.
      IChem certificate is equivalent to a Bachelors. But it's not a Bachelors. Just as BCS (British Computer Society) Certificate or CIMA is equivalent to a Bachelors.
      To find a job even IChem, BCS or CIMA is ok, since the course content is equivalent to a Bachelors.
      But if you are planning on doing higher studies in other countries some might not recognized certificates that are equivalent to Bachelors. They want an actual Bachelors degree.
      I know Piyal(ariyananda) was able to do his PhD using IChem certificate. But that's because that transcript looks like a degree since it contains course work of 4 years. But if some university go to know that it's not an actual degree they might not accept them.

      Delete
    6. වල සම්පූර්න සුදුසුකම තියනවා නම් කොලඹ විශ්ව විද්‍යාලයේ පාරිඝනක විද්‍යාව පිලිබඳ මාස්ටර් එක කරන්න පුලුවන් , ඒත් එක්ක අවුරුදු 2ක පලපුරුද්ද තියනවා නම් මොරටුව විශ්ව විද්‍යාලයෙත් කරන්න පුලුවන් , බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාල සැහෙන ප්‍රමානයකත් ඒ හැකියාව තියෙයි . අවශ්‍ය වෙන්නේ ඒ විශ්ව විද්‍යාලයේ පාඨ මාලාවට අවශ්‍ය කරන විශයන් එක්ක සමත් වෙලා තිබීම පහත ලින්ක් එකේ විස්තර තියනවා . ඔය මගේ ක්ෂේත්‍රයට අදාල එක අනික් ඒවාත් එහෙම විය යුතුයි . මොකද බ්‍රිතාන්‍යයේ වරලත් වෘත්තීය සංගම් සමහර විශ්ව විද්‍යාල උපාධියේ වලංගු තාවයන් පරීක්ෂා කිරීම පවා සිදුකරන නිසා

      http://www.bcs.org/category/9327

      http://www.bcs.org/upload/pdf/exams-courses.pdf

      Delete
    7. Sorry if I was not specific with my comment :-)
      certifications like CIMA or BCS might be accepted instead of bachelors based on the unis.
      For example in UK (and most commonwealth countries) will accept BCS and CIMA, but USA, Canda might not accept them. USA might accept CFA but UK might not. So it more of a hit or miss.

      But still BCS is a good option to get qualification while working. But this is something to think about. If someone can spend the time and money to get a bachelors I say go for it.

      Delete
    8. තනි අලියා... ඇනෝ... බුවාගේ සිතුවිලි : බොහොම ස්තුතියි කතිකාවතක් ගොඩ නැගීම සම්බන්ධයෙන් මේ ගැන.

      Delete
    9. ඇනෝ - ඒ කථාවට මාත් එකඟයි , බ්‍රිතාන්‍ය සුදුකම් පොදු රාජ්‍ය මණ්ඩලය තුලත් යුරෝපා සංගමය තුලත් තමයි වලංගු , ඇමරිකාව ගත්තොත් බ්‍රිතාන්‍යයේ සමහර උපාධි පවා අවුරුදු 3ක් නිසා ප්‍රශ්න ඇතිවෙන්න පුලුවන් .
      ඒ වගේම ඒ ලෙවල් කරල උසස් අධ්‍යාපනය හදාරන කෙනෙක් උපාධියක් කරන එක තමයි හොඳම පිලිවෙත කියල මාත් පිලිගන්නවා , ඒ සඳහා ආර්ථික අපහසු කම් එහෙම තියන අයට රස්සාවක් එක්ක කරගෙන යන්න අර වගේ වෘත්තීය සුදුසුකම් වඩාත් හොඳයි ,

      Delete
  13. ගොඩක් වටින ලිපියක්. ස්තූතියි පිස්සා..

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. අර පෙට්ටි කඩ බොහොමයක් වැසී ගියේ ඕස්ට්‍රේලියානු රජය මගින් වැසුව නිසා නොවේ. ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඒවා බංකොලොත් උනා. කොහොම උනත් ඔබ කියන කාරණය වැදගත්. කොහේ වත් පිලි ගන්නේ නැති, පිළිගත්තත් වැඩකට නැති සහතිකයක් ගන්න කටු කන එක නිෂ්පල වැඩක්. ගොඩක් දෙනා එන්නේ, ඉගෙනීම අවසානයේ ඉස්තිර පදිංචි විසා සඳහාත් සුදුසුකම් සපුරා ගන්න බලාපොරොත්තුවෙන්. නමුත් සමහර සහතික අරගන්න කොට ඒ සුදුසුකම් අර වැඩි ඉල්ලුම් රැකියා ලැයිස්තුවෙන් අයින් කරලා. ඉතින් මෙහෙට ඉල්ලුම් කරන්නත් බැහැ, ඒවගේ සුදුසුකමකින් ලංකාවේ රස්සාවක් හොයාගන්නත් බැහැ. පටන් ගන්න කොටම, අල්ලපු අත්ත නැති උනොත්, පයගහපු අත්ත හරි තියාගන්න පුළුවන් පාඨ මාලාවක් තෝරා ගන්න පුළුවන් නම් හොඳයි. නමුත් හොඳ සරසවි වල ගාණ සැරයි.

    ReplyDelete
    Replies
    1. Raigama : ඔබ හරි. හුඟක් දෙනා එන්නේ ස්තීර පදිංචිය.. පුරවැසිකම බලාගෙන. ඒත් නව නීති එක්ක එය කරන්න බැහ මම හිතන්නේ ( මට එම නීති ගැන නම් දැනුමක් නැහ. )...

      Delete
  16. මේ ලිපිය ගොඩක් වැදගත්. මම දන්න මගේ යාලුවො ඉන්නව මෙහේ UK වල. උන් විදින දුක දැක්කම පවු කියල හිතෙනව. සමහර උන්ට ලංකාවෙ හොද ‍රැකියා තිබුණ අය ‍මෙහේ ඇවිල්ල කට්ට කන්නෙ. මෙහෙත් ස්ටුඩන්ට් වීසා ඇවිත් වැඩ කරන්න පුලුවන් පැය 20.

    මේ කට්ටියත් හොරෙන් ජොබ් කරනව සතියට පැය 60,70 මොකද උන්ට ගෙවන්නෙ සොච්චම් ‍මුදලක්. ඉතින් එහෙම වැඩ කරලත් මදි. පඩි වැඩියෙන් ඉල්ලන්නත් බෑ කම්ප්ලේන් කරන්නත් බෑ කරොත් ඊලග දවසෙ ගෙදර. අනිත් එක ඒ තැනට එන්න තව කට්ටිය මෙහේ පොරකනවත් එක්ක. ඕකයි ඇත්ත තත්වය. ඒ උනාට ලංකාවෙ උන්ට කිවුවම උන් හිතන්නෙ අපි ඊරිසියාවට කියනව කියල. හැබැයි පිස්සා කිවුව වගේ තමන්ට ඇත්තටම සල්ලි තියෙනවනන්, බොරුවට බැංකු වල පෙන්නන ඒව නෙමෙයි, මෙහේ හොද colleges, uni එකකට යන්න පුලුවන්. ඒ වගෙ ගනන් දැකකම තමයි තරු පේන්නෙ.

    ඒ තොරතුරු දැනගන්නවනම් ඒ යුනිවර්සිටි වල වෙබ් සයිට්ස් වල වෙනම සෙක්සන් එකක් තියෙනව ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලට. අපේ අයට කියන්න තියෙන්නෙ බොරුවට හීන මවන මිනිස්සුන්ට අහුවෙන්න එපා. ඇත්ත දැනගෙන තීරණය කරන්න මොකද කරන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. නෙලාන් : හුඟ දවසකින් උබව දැක්කේ... ස්තුතියි මචන් උබේ තොරතුරු වලටත්

      Delete
  17. මේ වගේ කතා ආහලා තියනවා ඕන තරම්. ඒ උනාට දැන දැන වලේ වැටෙන අය ඉවරයක් නෑ. හේතු කීපයක් තියනවා.
    දැන් බොහෝ දෙනා එන්නේ 'රට පනින්න' තියන ආසාවට. ඉගෙන ගන්නවානම් ලංකාවෙත් පිටරට විශ්ව විද්‍යාලවල උපාධි දෙන ආයතන තියනවා.
    ඒජන්ට් ලා තමයි හුඟක් අය මුලා කරන්නේ. ලංකාවේ ඒජන්ට ලා ඉන්නවා වීසා ඇප්ලිකේෂන් එකට පෙන්නන්න ඒ අයගේ සල්ලි දාලා බැන්කු ගිනුම් ඇරලා වීසා අරන් දෙන. කොලෙජස් හොයලා දෙන්නෙත් ඒ අය. ලොකු ගානක් අය කරනවා.
    අපේ රටේ බොහෝ දෙනා තව කෙනෙක් කියන දේ තමයි විශ්වාස කරන්නේ. තමන් විසින්ම කරුණු කාරනා හොයලා බලලා තීරණ ගන්න පුරුද්දක් නැහැ. දැන් ඉන්ටර්නෙට් එකේ ඕන තරම් තොරතුරු හොයාගන්න පුළුවන්.
    මේ ලඟදී මට හම්බවුනා ලංකාවේ කෙනෙක් අවුරුදු 20ක් නමගිය සමාගමක වැඩකරලා පිටරට පනින රුදාවට ලෂ 15ක් වියදම් කරලා ඇවිත්..පොඩි කොලෙජ් එකක ඉගෙන ගන්නවා. වැටිච්ච වලේ තරම තේරිලා ආපහු යන්න බලාගෙන ඉන්නවා.

    මම පහුගිය කාලේ අන්‍ය ජාතීන්ට සහ සංක්‍රමිකයන්ට UK labour market එකේ තියන බාධා ගැන research දෙකක් කලා. Final reports ඉන්ටෙර්නෙට් එකේ තියනවා. අවුරුද්දකට ඉස්සර ලංකවේ සම්මන්ත්‍රණයකදී මේ ගැන presentation එකකුත් කලා.

    ReplyDelete
    Replies
    1. kandyan : බොහොම ස්තුතියි මචන් උබේ අදහස් වලටත්.... අර රිපෝර්ට් දෙක කැමති කෙනෙකුට බලන්න විදියක් දාන්න පුලුවන් නම්

      Delete
    2. කියවන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට ඊමේල් එකක් එව්වොත් මට ලින්ක්ස් එවන්න පුළුවන්. lalith(at)o2.co.uk

      Delete
  18. ගොඩක් වටිනා ලිපියක්!කවුරු හරි දන්න කෙනෙක් ගෙන් විස්තර අහගන්න එක තමා හොඳම දේ! එක්සත් රාජධානියේ එහෙම ඔය තත්ත්වය ගොඩක් දරුණුයි!

    ReplyDelete
    Replies
    1. Sabith : ඔව් ඉහත වීඩියෝ වේ දැක්වෙන්නෙත් ඒ ගැනනේ... ඔය කොහෙත් තත්වය අඩු වැඩි වශයෙන් දරුණුයි හොර පාරෙන්.. බොරු සුරංගනා හිතාගෙන ගියොත්.

      Delete
  19. ඇත්තටම වැදගත් ලිපියක් , මමත් හිතන්නේ පුලුවන් තරම් ලංකාවේ ඉඳන් ප්‍රථම උපාධිය කරගන්න එක තමයි හොඳ , ඒ වගේම විශ්ව විද්‍යාලයක් තෝරගෙන ඒකට කෙලින්ම ඇප්ලයි කරන එකයි හොඳම දේ ඒජන්තයො පස්සේ යන්නේ නැතුව . නීත්‍යානුකුලව අවශ්‍යතා පෙන්වන්න පුලුවන් නම් ඒජනත්යෙක් ඕනි නැ . මගේ ලඟම මිත්‍රයෙක් ගියා ඇමරිකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයකට (මට නම නම් මතක නැ ) පාඨමාලා ගාස්තු වලට පූර්ණ ශිෂ්‍යත්වයකුත් අරගෙන . කෙලින්ම ඇප්ලයි කරල ගත්තේ . මහා ලොකු ඒ ලෙවල් රිසල්ට් එකක් තිබිලත් නෙවෙයි . හැබැයි පාසල් කාලයේ වැඩකටයුතු සම්බන්ධයෙන් කොල ගොඩක් පුරවන්න වුනා . පිටරට ඉගෙන ගන්න යන අයට උදව් කරන වෙබ් අඩවියක් තියනවා . මහාචාර්ය වි,කේ සමරනායක මහත්තයගේ පුතා එහෙම තමයි ඒක කරන්නේ .මම ඒකෙ ලිපිනය හොයල දාන්නම . පිරට රට ඉගෙන ගන්න යන ශ්‍රි ලාංකිකයින්ට උදව් කිරීම වෙනුවෙන්ම තමයි ඒක පටන් අරන් තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! : ඔව් ඒක තමයි හොඳම දේ. ඒත් ඉතින් ඇප්ලිකේශන් තොගයක් පුරවන්න වෙනවා. හුඟක් අය ඒජන්ට් කෙනෙක් හරහා යන්නේ අවශ්‍ය කරුණු ෆෝරම සියල්ල ඔවුන් කර දෙන නිසා මම හිතන්නේ. හැම ඒජන්ත කෙනෙක්ම බොරු කරන්නෙ නැහ. හොඳ තැන් තියෙනවා.



      Kandyan : ඔබට ස්තුතියි නැවතත් ඉහත අඩවියේ ලින්ක් එක දැම්මට. ගොඩ වැදිල බලන්න ඕනි.

      Delete
  20. ගොඩ දෙනෙකුට වැඩගත් වෙන ලිපියක් බං . මට නම් ඉතින් රට තියා මේ රටේ වත් ඉන්ඩ සල්ලි හිඟයි ඉතින් මට නම් ඇත්තටම මේ ගැන හිතන්න දෙයක් නෑ .

    ගොඩ දෙනෙක් ඉතින් හිතන්නේ මේ වගේ කතාවක් කියන්නේ දියුනු වෙනවා බලාන ඉන්න බැරිව ඉරිසියාවේ කියලයි .

    ReplyDelete
    Replies
    1. හිස් අහස : ඔව් ගොඩක් දෙනෙක් හිතන්නෙ ඉරිසියාවට කියල තමා බන්. මම ඒකයි කාටවත් මේ ගැන කියන් නැත්තෙ පුද්ගලිකව

      Delete
  21. උඹ ලංකාවෙ උපාධි අද්්‍යාපනය ලබන්න පුලුවන් කියල දාපු ලිස්ට් එකේ ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනයටත් (NIFNE) පොඩි ඉඩක් වෙන් කරපං.1999 අංක 36 පනතෙං පිහිටවපු, උපාධි පිරිනැමීම සදහා UGC අනුමැතිය ලත් ආයතනයක්.

    ReplyDelete
    Replies
    1. ඕනයා : ස්තුතියි මචන්... මම ඔය ගැන මුලින්ම ඇහුවෙත් උබෙන් තමය් කාලෙකට කලින්. හුඟක් දෙනෙක් ඔය ආයතනය ගැන දන්නෙත් නෑ. මම ඇඩ් කලා ඒකත් ලින්ක් එකත් එක්කම.

      Delete
  22. ගොඩක් වැදගත් ලිපියක් මචං...
    සමහරුන්ට රට යන පිස්සුව ගැහුවහම මොනවා කිව්වත් වැඩක නැහැ

    අපේ මිනිස්සු මුල් බැහැගෙන ඉන්න විකාර මත නිසා තමයි ගොඩ වෙලාවට මෙහෙම වෙන්නේ
    ටිකක් හොයල බලල වැඩ කරනවානම් මෙහෙම වෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා : ඔව් බන් පිස්සුව හැදුන කියන්නේ හොඳ කරන්න අමාරුයි. ඒක ඉහට ගැහුවම කොහොම හරි යන්න මිසක් හෙවිල්ල බැලිල්ලක් නෑ

      Delete
  23. කියෙව්වම බය හිතෙනවා බන්, වටිනා ලිපියක්.

    ReplyDelete
  24. මම ඉගන ගන්නේ ජෙර්මනියේ...
    මම දන්නා විදිහට ජෙර්මනිය කියන්නේ ලෝකයේ අඩුම වියදමකින් ඉගන ගන්න පුළුවන් රටක්
    ප්‍රශ්නයකට තියෙන්නේ මෙහෙ පලවෙනි උපාධිය ඉගන ගන්න ඕනේ ජෙර්මන් භාෂාවෙන්
    ලංකාවේදී ජෙර්මන් භාෂාව ඉගන ගන්න පුළුවන් (http://www.goethe.de/ins/lk/col/enindex.htm)
    මාසයකට යුරෝ 650 විතර සල්ලි පෙන්නන්න ඕනේ. University වලට ගෙවන්න ඕනේ semester එකකට යුරෝ 750 (ඉගෙන ගන්න නගරය අනුව වෙනස් වෙනවා)
    විස්තර http://www.daad.de/deutschland/index.en.html

    ReplyDelete
    Replies
    1. Anonymous : ස්තුතියි මචන් විස්තරයට....

      Delete
  25. සම්පූර්ණ එකගයි මචං.. ඉතාලියටනම් ඉගෙන ගන්න හිතාගෙන ලංකාවෙන් එන අය අඩුයි.. ඒත් රස්සාවක් බලාගෙන එන අය වැඩියි.. බෝට්ටු පුරවලා මෙහේ කට්ටිය ආපු කාලයක් තිබ්බා.. දැං නම් අමාරුයි..

    ReplyDelete
    Replies
    1. Dinesh : ඒ තව කෙලියක්. ඒත් දැන් නම් සෑහෙන අඩුයි නේද මචන් බෝට්ටු වලින් එන එක...

      Delete
  26. සෙල්ලං වැඩක් නෙවෙයිනේ බං. අපි හෙන ලේසියට හිතාගෙන හිටියට.

    ReplyDelete
    Replies
    1. prasanna86k : මොන සෙල්ලන්ද බන්... හිතන තරම් පේන තරම් ලේසි නෑ ඔයි කොයිකත්

      Delete
  27. ගොඩාක් වැදගත් ගොඩාක් දෙනෙකුට ප්‍රයෝජනවත් ලිපියක් අයියෙ..ඒත් මේක කියවලත් බනින අය ඇති ''උන්ට හොඳයි අපි එනවට ඉරිසියාව'' කියල.....සමහරුන්ට රට යන්නම ඕනෙ ඉගෙන ගන්න කියන එක ඇඟටම කාවැදුන පිස්සුවක්...මම මෙහෙ අවු:10 ඉගෙන ගන්න ගිය මුදල නිකමට ගනන් බැලුවා...රුපියල් කෝටි 15 ක් විතර...යුනි එපා කියල ජොබ් එකක් තෝරගත්තෙ ඕක නිසාමයි............

    ReplyDelete
    Replies
    1. oya Astronaut kenek vennada igena gatte

      Delete
    2. වින්චැට්කිරිල්ලි. : ඔව් ඒක එක්තරා ආකරයක පිස්සුවක් තමා... ඈ.. කෝටි 15 ක් ????

      Delete
    3. ඔව්...පලමු අවුරුද්දෙ මාසෙට 700 ක් විතර..එතන ඉඳන් අවු 6ක් දක්වා ටික ටික ඉහල යනව ඔය ගාන..ඊට පස්සෙ,හයි ස්කූල් එකේ අවු.4ක් පලමු අවුරුද්දට මාසෙට 1,100 ඉඳන් ඉහලට......(කෑම සහ ට්‍රාන්ස්පෝට් එක්ක.)..අමතර ක්ලාස් 1 ක් පලමු අවුරුදු 3..ඊට පස්සෙ අමතර ක්ලාස් 2.......මම අවුරුදු 10 ම අමතර පන්ති ගියා...සමහර පන්ති පැයට එයුරෝ 70...ඔය ඔක්කෝම එයුරෝ ..රුපියල් වලට අරන් බලන්න...මම ඉගෙන ගත්තෙ ප්‍රයිවට් ඉන්ටර්නැශනල් ස්කූල් දෙකක.....

      Delete
    4. වින්චැට්කිරිල්ලි. : ඇස් දෙකටම ඇඩෙනවා.... ඔව් එකතු වෙලා එද්දි ඒ ගාන වෙයි.... මෙහේ නම් ළමයි හදන්න බැරියෝ...

      Delete
  28. ගොඩක් වටින කාරණා ටිකක්...පොඩ් ප්‍රශ්නෙකට තියෙන්නේ ඕවා අපේ අයට තේරුම් කරන්නේ කොහොමද කියන එක.

    ReplyDelete
    Replies
    1. Isuru : කොච්චර කීවත් තේරුම් නොගන්න එක ජාතියේ හැටියක්...

      Delete
  29. patta lipiyak saho

    ReplyDelete
  30. ඉස්සර ඉස්කෝලේ යන කාලෙනම් ආසාවක් තිබ්බා. ආසා තිබ්බ පලියට යන්න බෑනේ. ඒ හන්දා බැරි උනා :D

    ReplyDelete
    Replies
    1. පූසා : එහෙම උන එක ගැන හොඳයි කියන්නද නරකයි කියන්නද මන්ද...

      Delete
  31. යථාර්තය කැටි කොට ගත් අපූරු ලියමනක්..... ජය වේවා පිස්සා.. උඹේ පෝස්ට් වලින් මටනම් මේක තමයි අංක 1.

    ReplyDelete
    Replies
    1. අභීත : ස්තුතියි මචන්... උබ මේක මූනු පොතෙත් දාල තිබ්බ දැක්ක.

      Delete
  32. Replies
    1. ඔබ නොදු‍ටු ලොවක් : ස්තුතියි මචන්

      Delete
  33. නියම පෝස්ට් එක. මමත් 100%ක් එකගයි මචං. මේ දැනුවත් කිරීම මෙතනින් එහාටත් යන්න ඕන කියලයි මට හිතෙන්නේ. මොකද මමත් මීට මාස දෙකකට කලින් මේ ගැනම ලිව්වා. ඊට පස්සේ ආපු අදහස් නිසා තමයි එහෙම හිතුනේ...

    ReplyDelete
    Replies
    1. Pradeep Gunarathna : ඔව් මචන්... ඒකයි මාත් ඉල්ලීමක් කලේ මේක ශෙයා කරන්න කියලා...

      Delete
  34. මාර කාලින වටිනාකමක් තියන පොස්ට් එකක්. මගෙත් යාලුවෝ ගොඩක් එංගලන්තේ ගිහින් දුක් විඳිනවා. උන් කියන කතන්දර අහන් ඉන්න බැරි තරම්ම දුකයි. ලංකාවේ ඉන්නකොට කොස්සක් අතින් අල්ලපු නැති එවුන් දැන් රෑ නිදිමරාන අතුගානවා. සමහරු විවිධ දේ කරනවා. ඉතින් හිතන්න... මේ ලිපියේ කරුණු 100% ඇත්ත.

    ReplyDelete
    Replies
    1. අපි සයිප්‍රස් ගිය වෙලේ මට හමු උනා අයියල දෙන්නෙක්...ඉගෙන ගන්න කියල ඇවිත් අතරමං වෙලා දැන් සත්තුෆාම් එකක වැඩ කරනව කිව්වා..එයාලගෙ අත් මට පෙන්නුවා.දෙන්නගෙම අත්වල ගනන් කරන්න බැරි තරම් කර ගැට..... පුපුරල හම ගිහිල්ල රතුපාටට... එක පාරකට වඩා බලන්න බැහැ ඒ අත් දිහා...එහෙම දුකට වැටුන අය කොච්චර උගත් උනත් ඒ වගේ අපා දුකකින් බේරෙන්න ඕනම දෙයක් කරන්න පෙළඹෙනවා....

      Delete
    2. ක්සැන්ඩර් | Xander : තිත්ත ඇත්ත මචන්. හුඟක් එවුන් ඕව්ව කිව්වට පිළිගන්නෙ නෑ....

      Delete
  35. මම මේ ගැන ඇමරිකාවට සම්බන්ද තොරතුරු කියන්නම්. සින්හලෙන් ටයිප් කරන්න වෙලායනවා

    - Coming to USA for undergrad
    If you are planning on coming to USA for your bachelors degree make sure your parents can afford to pay your tuition. Because in USA students can't legally work outside the university. But you can work 20 hours per month in the university. The income you earn from this might be enough to cover your rent/food, but not the tuition fees.
    If money is not an issue then directly go to a university. If not you can go to a community college for the first two years and then go to a university for the last two years.

    - Grad studies
    Do your undergrad in SL at a gov university, open uni, SLIIT, APIIT, etc ...
    If you have a 4 year degree then you can apply for graduate studies. It's possible to get a research or a teaching assistance-ship. If you get one of these then it's enough to pay your tuition (at some places they waive the tuition fee), cover your expenses and even send money to SL.

    ReplyDelete
    Replies
    1. Anonymous : ඇමරිකාවේ ඉගෙන ගන්න එක ගැන ඔබ දාපු විස්තරයට බොහොම ස්තුතියි. මම හිතන් හිටියේ කොහෙත්ම වැඩ කරන්න බෑ කියල...

      Delete
  36. මම බුකියෙ දැම්මා..කියවන එකෙක් කියවලා තේරුම් ගන්නෙ නැතෑ..ඔව්වා පෞද්ගලිකව නම් කියන්න යන්නේ නෑ..කොයිතරම් අනිකා අමාරුවෙ වැටෙයි කියලා හිතුවත්..ඉරිසියාව කියලනෙ කියන්නෙ ඔව්වා කියලා දෙන්න ගියොත්..

    ReplyDelete
    Replies
    1. හරී : මමත්... කොච්චර හිතවත් උනත් හිතන්නේ ඉරිසියාවට කියල. ස්තුතියි

      Delete
  37. හුඟාක් අය ට්‍රයි කරන්නෙ ඉගෙනගන්නවටත් වඩා, පිටරටක පුරවැසි කම ගන්න. ඒකට එච්චර වියදම් කරල ඔස්ට්‍රේලියාව වගේ රටවල පිළිගන්න පාඨමාලා හදාරන්න ආර්ථික හැකියාවක් නැති අයට තියෙන තව ක්‍රමයක් තමා ඒ වගේ රටවල් පිළිගන්න පාඨමාලාවක් ලංකාවෙදි සම්පුර්ණ කිරීම.

    උදාහරණයක් වශයෙන් 'ලංකා-ජර්මන් කාර්මික පුහුණු ආයතනය' වගේ තැනක. ඒ ආයතනයේ මෝටර් කාර්මික ශිල්පය විතරක් නෙමේ, ලියවන පට්ටල්, වාහන සහ ගෘහ විදුලි, ටෙලිකොමියුනිකේෂන්, වෙල්ඩින්, වායු සමීකරණ ආදී මෙකී, නොකී, පාඨමාලා හුඟාක් උගන්නනවා විතරක් නෙමේ ලෝකෙම පිළිගන්න සහතිකයකුත් නිකුත් කරනවා.

    ReplyDelete
    Replies
    1. Observer : අපේ හුඟක් කට්ටියට ලංකාවෙ ඉදන් ඔහොම පාඨමාල හදාරන එක දිරවන්නෙ නෑනේ ඔබා මාමේ. මම දන්න කීප දෙනෙක් උන් මෙහේ ඇවිත් මෝටර් මිකෑනික් කරනවා මේ දවස් වල පී අර් ගන්න පුලුවන් කියල. දැන් එහෙම පුලුවන්ද මම දන්නෙ නෑ... උන් කියන්නේ. ලංකාවෙ මෙව්ව කරල වැඩක් නෑ බන් කියල කියනවා.. ඇත්ත එක අතකින්. ඒත් උන්ගෙ පී අර් සිහිනෙ කඩා වැටුනොත් අනේ මන්දා

      Delete
    2. //ලංකාවෙ මෙව්ව කරල වැඩක් නෑ බන්//
      ඔය උණ හැදිච්ච කට්ටිය සනීප කොරන්න හරි අමාරුයි බන්. මම දන්න සමහරු ඇවිල්ල ඉන්නෙ උංගේ සහෝදර සහෝදරියන්ගේ අනාගතෙත් උගස් කරල, ගොඩ ගියොත් හොඳා, නොගියොත් මුළු පව්ලක්ම අමාරුවෙ. මං දන්නා එකෙක් ඉන්නව ගම්පහ , උට පිස්සු හැදුන. හෙණ දුක හිතෙනව මේ අප්සෙට් සීන් දැක්කම නං.

      Delete
    3. Observer : /සහෝදර සහෝදරියන්ගේ අනාගතෙත් උගස් කරල /

      පුද්ගලිකවම දන්න මල්ලි කෙනෙක් ඉන්නව මේ තත්වෙ... ගොඩ ගියොත් හොඳයි. නැත්තම් ඌටයි පවුලෙ අනික් අයටයි මොනව වෙයිද හිතා ගන්නත් බෑ

      Delete
  38. බොහොම වැදගත් ලිපියක්....

    ReplyDelete
    Replies
    1. ~~තරූගේ ලෝකය~~; : ස්තුතියි

      Delete
  39. හුඟාක් වටින ලිපියක් අයියෙ.. මටත් මුලදි පිස්සුවක් තිබ්බා ඔහොම. හැබැයි අපිට ඒ තරම් සල්ලි නැති නිසාත්,තියන දේවල් විකුණලා , ණය වෙලා ඉගනගන්න ඕනෙ නැති න් ඉසාත්, ඔය රට යන විදි ගැන, හරිම නිවැර්දිම ක්‍රමයක් නොදන්න නිසාත් උත්සාහ කලේ නෑ.. දන්න කියන කෙනෙක්ගෙන් වුනත් උදව් ගන්න පෙළඹුනේ නෑ..ගිහින් තනියම් කටු කන්න බෑනෙ...

    නියම ලිපියක් අයියෙ...නියමයි..නොදන්න කෙනෙක්ට හොද උපදෙස් ගොඩයි

    ReplyDelete
    Replies
    1. හිතුවක්කාරි : ඉඩම් විකුණල... ණය වෙලා.. ( පැහදිලි අරමුණක් ඇතුව.. ආර්ථික ශක්තියක් ඇතුව නම් අවුලක් නෑ ).. සබ්බ සකලම දීල ගිහිල්ල තනියම නන්නත්තාර වෙන්න ඕනිද... නැහනේ... ස්තුතියි

      Delete
    2. හයියෝ නෑ.. ඒකනෙ නොගිහින් මෙහෙ යහතින් ඉන්නෙ..

      Delete
  40. මේකට කමෙන්ටුවක් දැම්මනම් හොඳයි කියල හිතුනා.
    ඒ ලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ මටත් රට යන පිස්සුව ඔලුවට ගැහුවා. යූකේ වල පොර්ට්ස්මවුත් යුනි එක තමයි තෝරගත්තේ. යවන ආයතනයෙනුත් ලස්සන කතා ටිකක් කියල ලෝකයක් මවල පෙන්නුවා. යුනිවර්සිටි එකත් හොඳ මට්ටමක තිබුනා. එත් කෝකටත් කියල දෙවැනි පාර ඒ ලෙවල් කළා. ඒ එක්කම රට පිස්සුව නැති උනා. නිකන් ඉන්න කාලේ NIBM එකට ගියා. ඔය අතරේ රිසල්ට් ආවා. කැම්පස් යන්නත් පුළුවනි. අද මම ඩුවල් ඩිග්‍රී කරගෙන සැහැල්ලුවෙන් ඉන්නවා. කැම්පස් එකෙන් සෝෂල් වෙන්නත් NIBM එකෙන් ප්‍රොෆෙෂනල් වෙන්නත් ඉගෙනගත්තා. ඉක්මන් වෙලා රට ගියානම් තවමත් ණය ගෙවනවා.

    ReplyDelete
    Replies
    1. ලකී : ඔය තියෙන්නේ උදාහරන ඕනි තරම්.... ප්‍රශ්නෙ හුඟ දෙනෙක්ට පිස්සුව හැදුනම වෙන මොකුත් නොපෙනීම

      Delete
  41. බොහෝම වටිනා ලිපියක්.....

    ReplyDelete
  42. මට ඉතින් කියන්න තියෙන දේවල් ඔක්කොම උඩ කස්ටිය දාලනේ.. එල එල.. ජයවේවා!!!

    ReplyDelete
  43. වෙලාව හොඳ කමට මෙහෙ තියෙන එව්වයෙ ලොකුම එකට යන්න පුළුවන් වුනා.. හැබැයි අපේ නෑයො ටිකක් දැඟළුවා ඔය ඔස්ට්‍රෙලියාවෙ මොකද්ද එකක් ස්කොල් එකක මාව එල්ලන්න.. මන් එක පයින් කීවෙ මන් යන්නෙ මෙහෙ එකටම තමයි කියලා !

    ReplyDelete
    Replies
    1. Weni : ඔය ඉතින් ඉන්නේ අයියේ... වරදක් අඩුවක් වුනැයි නෑනේ... වෙලාව හොඳ කම නේන්නම්

      Delete
  44. බොහොම වටිනා ලිපියක්. විවාහ වෙලා රට යන අයට නම් එච්චර ප්‍රශ්නයක් නැහැ එක්කෙනෙක් ඉගනගන්න අතරේ අනිත් කෙනාට හම්බකරන්න පුළුවන් නිසා. ඒත් මෙහෙ එන පොඩි කොල්ලෝ කෙල්ලෝ හුඟක් අය අලුත් යාලුවෝ අඳුරගන ක්ලබ් යන්න බොන්න පුරුදු වෙලා නාස්ති වෙනවා. ගොඩක් කොල්ලෝ මත්ද්‍රව්‍ය වලට, ගණිකාවන් ආශ්‍රයට යොමුවෙලා. හොයන්න බලන්න කෙනෙක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. This also does not apply to USA. Unlike UK or Auz in USA your spouse can't legally work.

      Delete
    2. nikki : ඒ තව පැත්තක්. හිර වෙලා ඉදල ලැබෙන අසීමිත නිදහස. මම දන්න තරමින් එහෙම ආවත් උපරිම පැය 20 නීතිය දෙන්නටම බලපානවා.

      ඇනෝ : ස්තුතියි දැනුවත් කිරීමට.

      Delete
    3. na ayye mehe uk wala spouseta full time wada karanna puluwan .habai me awrudde idan eka nathi karanna yanawa kiyala kathawak thiyanawa'

      Delete
  45. උබ හරියට හරි.....ඉගෙන ගන්නවානම් ඔන්න පාඩම්

    ReplyDelete
  46. ඇත්තටම වටින ලිපියක් අය්යෙ.මම දන්න ගොඩක් අයත් හිතන්නෙ රට ඉඳිද්දි ඔය කිව්ව වගේ part time job එකක් කරන ගමන් ඉගෙනීම් වැඩත්,හැමදේම හොදින් කරන්න පුලුවන් කියල.මම දන්න කෙනෙක් ඉන්නව එහෙම හිතන.මේ link එක මට එයාට දෙන්න පුලුවනි..

    ස්තූතියි අය්යෙ වටින ලිපියට....

    ReplyDelete
    Replies
    1. සිහින මතකයන් : පෙන්නන්න... පෙන්නන්න.. ඔය සිහින වල ජීවත් වෙන අයට.

      Delete
  47. මගෙ දරුවත් ඉගෙන ගන්නෙ ඈත රටක. ඒකට හේතුව ඒ ළමයත් ඉගෙනගත්තෙ විදේශ රටවල නිසා සහතිකත් විදේශ සහතික. ඉතින් කොච්චර හොඳ ප්‍රතිඵල තිබ්බත් ලංකාවෙ විශ්ව විද්යාලයකට යන්න වෙන්නෙ විදේශ ශිෂ්‍යාවක් හැටියට අවුරුද්දකට ඩොලර් 10000ක් ගෙවාගෙන. ඉතිං ඒ දරුවා කොහෙ ගියත් එකයි.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හෙන් රි ඔය වගෙ දරුවන්ටත් ශිෂ්‍යත්ව ලැබෙනවා පිටරට වලින්. ඇහැ ගහගෙන හිටියොත්. මගෙ දෝණිට ලැබුනෙත් එවැනි ශිෂ්‍යත්වයක්.උසස්පෙල ලන්ඩන් හෝ මෙරට, කරනදෙය උපරිමෙන් කරල ඉංගිරිසි ප්‍රවීන තාවය පෙන්නල ඉගෙනගන්න අතරතුර කරපු අතිරේක ක්‍රියා කාරකම් පෙන්නල ඉල්ලුම් කරන්ට පුලුවන් මේ ශිෂ්‍යත්වවලට

      Delete
  48. ගොඩක් වටිනා ලිපියක්!!!මටත් යන්න හිතක් තිබුනා.සල්ලි නෑති නිසා බෑරි වුනා.මෙවා අහනකොට නොගියපු එකමයි හොද....පස්සෙ මම මෙකට ගියා http://www.iet.edu.lk/
    Maths කරපු කෙනෙක්ට යන්න puluwan....

    ReplyDelete
  49. දැන්නම් කොමෙන්ට් එකක් ලියන්නත් පරණ වැඩියි වගේ. ඒත් කරුණු දෙකක් කියන්න ඕන. මම ඉගෙන ගත්තේ USA වල.

    1. ලංකාවේ උපාධිය කරන්න අවුරුදු 3-4 ක් කාලේ නාස්ති කරලා මෙහෙ එන එ‍ක හොඳ පස් තාච්චි කරන්න එන ඇල්කැමිය වගේ අයට විතරයි. නැත්නම් A/L වලට පස්සේ ඇවිත් community college එකකකින් associate degree එකක් අරන් university යන එ‍ක ලාබයි, හොඳයි.

    2. ඉගෙන ගන්න අතරේ වැඩ කරන්න වෙලාව නැහැ කියන එ‍ක ඇත්තම නෙවෙයි. මම full time and part time job දෙකක් කරන අතරේ ඉගෙන ගෙන full time ඉස්කෙලේ ගිහින් මගේ doctorate එක අවුරුදු 6 කින් ඉවර කළා. A/L ඉඳල graduate වෙන්නම අවුරුදු 6 යි. අවශ්‍ය වෙන්නේ කැප කිරීම සහ මහන්සි වි ඉගෙන ගැනීම විතරයි.

    ඉගෙන ගත් දේ අපතේ නොයන බවත් ඉගෙන ගත් දෙයින් ප්‍රයෝජනයක් ගැනීමට සුළු හෝ බුද්ධියක් අවශ්‍ය බවත් අමතර කාරණා.

    ReplyDelete
  50. සෑහෙන්න වටින ලිපියක්... ඒක නෙමේ මොකෝ මේ දවස්වල පේන්න නැත්තේ??

    මමත් මේ ප්‍රයිවට් ඩිග්රියක් හරි ගන්න කොහොමද හොඳ කියලා බලන්න බ්ලොග් හොයන ගමන් ඉන්නේ... අනේ මන්දා ඔක්කොම බොරු අයිසින් දාලා පෙන්නනවා කියලා තේරෙන්නේ මේවා කියවනකොට තමයි

    ReplyDelete
  51. උබ මාව බේරල දුන්නා මචන් තැන්ක්ස්.................!!

    ReplyDelete
  52. උබ මාව බේරල දුන්නා මචන් තැන්ක්ස්.................!!

    ReplyDelete
  53. ජපන් ශිෂ්‍ය වීසා ගැන මොකද හිතන්නේ

    ReplyDelete
  54. ජපන් වීසා ගැන මොකද කියන්නේ. ..??

    ReplyDelete
  55. මම නිර්දේශ කරන්නේ https://www.penpaland.com භාෂාව විනිමය පාදක කරගත් වෙබ් අඩවිය
    Android:http://app.appsgeyser.com/Penpaland

    ReplyDelete
  56. ඔය කියන විදියට ඕස්ට්‍රේලියා ගීම් පාට් ටයිම් ජොබ් එකක් කරල ඉගෙන ගන්න එක කරන්නම් බැරිද ගෙදරින් උදව් නැතුව 😓

    ReplyDelete
  57. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
    sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
    kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
    Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
    1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
    melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
    dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
    saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
    kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
    penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
    dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
    minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
    buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
    Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
    sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
    Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
    berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
    hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
    seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

    ReplyDelete

Related Posts with Thumbnails