Wednesday, May 2, 2012

දුක කියා කොළ ප්‍රින්ට් කර බස් වල ආධාර එකතු කිරීම... 50,000+ ආදයමක්...

Share

මාසෙකින් විතර තමයි පෝස්ට් එකක් දාන්න ඉස්පාසුවක් ලැබුනේ... බ්ලොග් ලියන කියවන උන්ට මාව මතකද මන්දා...

පහුගිය දවස් වල දැකපු.. අහපු.. කතා උනු මාතෘකාවක් ගැන තමයි ලියන්නේ... ඒ වූ කතා බහ වලදී මිතුරන් කිහිප දෙනෙක් පැවසූ ඔවුන් මග තොටදී අත්දුටු සිදුවීම් කිහිපයක පෙලගැස්මකි..





********************


ස්ථානය පිට කොටුව බස් නැවතුම් පොළ... මැදියම් රැය පසුවී පැය 2 ක්  පමණ ගත වී ඇත.. බස් රථයක් පැමිණීමට තවත් පැය 2 ක් පමණ ගතවේ.. ඒ අසලම සිටි ආධාර පත්‍රිකා කිහිපයක් රැගත් වයස 25 - 30 ක් අතර පෙනුමක් දිස් උන තරුණයෙකි.. අම්ම තාත්ත අහිමි වූ රෝගී නැගනිය වෙනුවෙන් මුදල් එකතු කරන පත්‍රිකා බෙදන චරිතයක්... කාලය මකා ගන්නටත් එක්ක මම තරුණයා හා කතාවට වැටුනි...


" අයියේ... "


දවස පුරාම පජාත වී සිටි මාගේ තත්වය ඔහුට වඩා දුක්මුසු ස්වරූපයකි.. ඒ හේතුව නිසාමද මන්දා ඔහු මා සමඟ කතාවට පැටලුනා පැකිලීමකින් තොරව...


කෙටි කතා බහකින් පසු...


" යමුද ප්ලේටියක් ගහන්න... "


ඉදිරියේ වූ රෑ කඩයෙන් ප්ලේන්ටි 2ක් ඇනවුම් කර බොන අතරේ ඔහු සමඟ තව දුරටත් කතා වට වැටුනි..

" ඉතින් දැන් ඔය කතාව ඇත්තද ? "

" ඔව් "


" නෑ නෑ බන්.. මට වැඩක් නෑ ඕකෙ ඇත්ත නැත්ත... මට දැන ගන්න කියපන් කතන්දරේ වෙන විදිය... .. "


ඇත්ත පවසාවියයි කිසිම විශ්වාසයක් නැතුව වුවත් ඇසූ පැනයට ඔහු දොඩමළු උනා.. ප්ලේන්ටි උගුරකින් මුව තෙමා ගත් ඔහු


" කතාව ඇත්තම නෙමෙයි.. මට ඉන්නෙ මල්ලි කෙනෙක් විතරයි... මේකේ තිබ්බට නංගි කෙනෙක් නෑ..  ඌ හේනක් කොටනවා.. තාත්ත නම් නෑ.. අම්ම විතරයි ඉන්නේ... "


" උබේ ගම කොහෙද.. "


" පොලොන්නරුවෙ.. ගමේ මිනිස්සු හිතන් ඉන්නෙ මම කොළඹ හොඳ රස්සාවක් කරනව කියලා "


" ඉතින් ඇතිද ජීවත් වෙන්න ඔය ලැබෙන ආදයම... "


" ඇති.. මම විතරක් නෙමෙයි මගේ පවුලෙ අයත් ජීවත් වෙන්නෙ මම මේකෙන් හොයන එකෙන් තමා.. "


" ඉතින් කොහොමද උබේ ආදයම.. "


" මම එක බස් එහෙකින් බලාපොරොත්තු වෙන්නෙ රුපියල් 20 යි... බස් 100 කට නැග්ගම 2000 යි... ඇතිනේ.. බස් 150 - 200 නගින දවසුත් තියේ... අනික රුපියල් 20 ට වඩා හම්බුවෙනවා අනිවාර්යෙන්... මම දවස් 20යි මාසෙකට මේ කරුමාන්තේ කරන්නේ... "


( මාසෙට දවස් 10 ක් නිවාඩු එක්ක මාසෙට රුපියල් 40,000 කට අධික ආදයමක් )


"' මල්ලි බස් එකට නැගල ඉස්සරහම ඉන්න කෙනා දුන්නොත්... ලොකු කොළයක් දුන්නොත් ගොඩම තමයි.. අපේ මිනිස්සු සල්ලි නැත්ත අනිකට සෙකන්ඩ් වෙන්න කැමති නෑනේ... හැමෝම දෙනවා.. එහෙම උනොත් ඒ බස් එකෙන් රුපියල් 200 ට එහා හම්බෙනව...  "


" ඒ කියන්නේ ලොකු ගානක් නේ... "


ප්ලේන්ටි යේ අන්තිම උගුරත් බී මන්ඩි ටික පාර අයිනට විසි කර ඔහු නැවත්ත් කතාවට වැටුනා...


" මෙහෙමයි... දවසට 10,000 හොයන දවස් තියේ... 5,000 හොයන දවසුත් තියේ... සමහර දාට 2,000 හොයන දවසුත් තියේ.. ඊට අඩු වෙන්න නම් නෑ.. 


මම හුඟක් නගින්නේ දුර පළාත් බස් වල... දෙනියාය... සූරිය වැව... අම්පාර වගේ... ඒ බස් වල දිනපතා යන මිනිස්සු නෑ.. අනික වයසක මිනිස්සු හිටියොත් ගොඩම තමයි... හිත උණු වෙනවා ඉක්මනට... අපිත් ජීවත් වෙන්න එපැයි. "


මගේ ගමනාන්තය ගැසූ පුවරුවක් සහිත බසයක් කෙලවරකින් මතු වේ..


" බස් එක එනවා.. එහෙනම් මම යන්නම්...  "

ස්ටෑන්ඩ් එකට ගැසූ බස් එක දෙසට පිය මැන්න මා හිතට නැගුනු ප්‍රශ්නෙකට පිළිතුරු අපේක්ශාවෙන්..


" ඇයි ඔයා බය නැතුව ඇත්තම කිව්වෙ... "


මුහුනට නගා ගත් සිනහවකින් යුතුව...


" ඇත්ත දැන ගත්ත කියල  මට මොනව කරන්නද... " 


********************


""  සුබ උදෑසනක්.. මම ********** ආයතනයේ හොඳ රැකියාවක් කරන පුද්ගලයෙක්... මේ මගේ රාජකාරි හැඳුනුම්පත... මට ඔබලාගෙ උපකාරය අවශ්‍යයි.. මට සල්ලි ප්‍රශ්නයක් නෑ... ඒත් විවාහ වෙලා වසර ගනනක් ගත වෙලත් අපිට දරු සම්පත් නෑ... අවසානයේ අපි ඉන්දියාවේ කෝවිලකට බාරයක් උනා දරු සම්පතක් ලබා දෙන්න... ..දැන් අපිට පොඩි දරුවෙක් ඉන්නවා... ඒ බාරය ඔප්පු කරන්නයි මම මෙහෙම ඔබතුමන්ලා ගාවට ආවේ..

මගේ සල්ලි වලින් ඒ බාරය ඔප්පු කරන්න බෑ පින්වත් නෝනා මහත්වරුනි... සිඟා කා... හම්බු කරන මුදලින් තමයි එය කල යුත්තෙ... ඔබලාට හැකි අයුරින් මට පිහිට වෙන්න...  ""

ඔය හා සමාන අන්දරයක් ඉදිරිපත් කරමින් ආධාර ඉල්ලූ ඔහුට සෑහෙන පිරිසක් මුදල් දී තිබෙනවා...

පුද්ගලයාගේ කතාව ඇත්ත ද බොරුද දන්නෙ නෑ... ඒත් ක්‍රියේටිව් පොරක්...



********************

" අනේ නෝනාවරුනි මහත්වරුනි.. මගේ ගම මහවිලච්චිය.. අම්මයි තාත්තයි දෙන්නම නෑ.. "

අදෝනාවක් එක්ක කොළ පිංචවල් ටිකක් බස් එකේ ඉස්සරහ ඉදන් බෙදාගෙන එන මූන හොඳට පුරුදුයි... මූ කවුද... අඩේ තෙලිකඩ බස් එකේ කොන්දා නේද මේ.. මූ කොහෙද මහවිල
ච්චියේ..

හැමෝටම බෙදපු කොළේ මටත් දුන්න..

පොරගේ මූන දිහා බලපු මම  කට හඬ බාල කරමින්..

" ඕයි.. මොනවද මේ කරන්නේ.. "

මා දිහා ටිකක් වෙලා බලන් හිටි ඔහුට මාව මතක් උනා..

" ඒ.. කෑ නොගහ හිටපන් මල්ලි.. "

කියමින් කොළ ටිකත් එකතු කර ගත් ඔහු අඩියට දෙකට මාරු උනා... 





********************

ඔය වගේ සිද්දි කීපයක් ම තියෙනවා.. ලියන්න කම්මැලි නිසා... පසුවට... අත්දැකීම් බෙදා ගන්න කැමති නම්...


Related Posts with Thumbnails